
චීනයේ නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ජෙජියැං (Zhejiang) පළාතේ පිහිටි යිවු (Yiwu) නගරය අද ලෝකයේ ප්‍රමුඛතම තොග වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබේ. ලොව විවිධ රටවලින් පැමිණෙන ව්‍යාපාරිකයන්, ආනයනකරුවන්, අපනයනකරුවන් සහ වෙළෙඳ නියෝජිතයන් දහස් ගණනක් දිනපතා මෙම නගරය සමඟ ගනුදෙනු කරති.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමකට පසුගිය දා ජෙජියැං (Zhejiang) පළාතේ පිහිටි මෙම තොග වෙළෙඳ මධ්‍යස්ථානය දැක බලා ගැනීමටත්, ඒ් ගැන අධ්‍යයනය කිරීමටත් අවස්ථාව උදා විය. ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව සංවිධානය වු මෙම සංචාරය මාධ්‍යවේදීන් වන අපගේ දැනුම තවත් වර්ධනය කිරීමට හේතු සාධකයක් විය.
කෙසේ නමුත්,කුඩා පාරිභෝගික භාණ්ඩවල සිට ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු, විසිතුරු භාණ්ඩ, ලිපිද්‍රව්‍ය සහ විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය නිෂ්පාදන දක්වා අතිවිශාල භාණ්ඩ ප්‍රමාණයක් එකම වෙළෙඳ පරිශ්රයකින් සොයාගත හැකි වීම යිවු වෙළෙඳ මධ්‍යස්ථානයේ විශේෂත්වය බව කිවයුතුය.
ලොව විශාලතම කුඩා භාණ්ඩ වෙළෙඳපොළක්

යිවු ජාත්‍යන්තර වෙළෙඳ නගරය (Yiwu International Trade City), ෆුටියැන් වෙළෙඳපොළ (Futian Market) යන නමින් ද ප්‍රසිද්ධය. මෙය විශේෂයෙන්ම කුඩා පාරිභෝගික භාණ්ඩ තොග වශයෙන් මිලදී ගැනීම සඳහා ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයකි.
මෙහි වෙළෙඳ කටයුතු විවිධ අංශවලට බෙදා සංවිධානය කැර තිබේ. ඒ අනුව සෙල්ලම් බඩු, ස්වර්ණාභරණ, විසිතුරු භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, විදුලි උපාංග, ඇඳුම් ආයිත්තම් සහ උත්සව සැරසිලි ඇතුළු භාණ්ඩ වර්ග රැසක් මිලදී ගැනීමට හැකියාව පවතී.
එකම භාණ්ඩ වර්ගය සඳහා සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම නිසා මිල ගණන්, ගුණාත්මකභාවය සහ නිෂ්පාදන විවිධත්වය සසඳා බලා මිලදී ගැනීම් සිදු කිරීමට ද ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ.
ලොව රටවල් රැසක් සම්බන්ධ කරන වෙළෙඳ ජාලයක්
යිවු වෙළෙඳපොළේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ එය චීන දේශීය වෙළෙඳපොළකට පමණක් සීමා නොවීමයි. ආසියාව, අප්‍රිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ලතින් අමෙරිකාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන් මෙහිදී චීන නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වෙති.
මෙම සම්බන්ධතා හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පවා ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව උදා වේ. විශේෂයෙන්ම විශාල නිෂ්පාදන සමාගම් සමඟ සෘජුව ගනුදෙනු කිරීමේ හැකියාව සීමිත ව්‍යාපාරිකයන්ට යිවු වෙළෙඳපොළ වැදගත් මූලාශ්‍රයක් බවට අද පත්ව තිබේ.

වෙළෙඳපොළේ විශාලත්වය සහ නිෂ්පාදන විවිධත්වය
2026 වසරේ වාර්තා අනුව යිවු ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටි 80,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, එහි භාණ්ඩ වර්ග මිලියන 2.1කට අධික ප්‍රමාණයක් අලෙවි කරන බව මා කළ අධ්‍යයනයකින් පැහැදිලි විය. මෙම වෙළෙඳපොළ රටවල් සහ කලාප 233කට භාණ්ඩ සැපයීමේ ජාත්‍යන්තර ජාලයකට සම්බන්ධ වී තිබේ.
මෙම වෙළෙඳපොළේ විශාලත්වය තේරුම් ගැනීමට එහි ඇති වෙළෙඳ කුටි සංඛ්‍යාව පමණක් ප්‍රමාණවත් නොවේ. භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා, තොග වෙළෙඳුන්, ප්‍රවාහන සමාගම්, ගබඩා පහසුකම්, රේගු සේවා සහ අපනයන සමාගම් ඇතුළත් සමස්ත සැපයුම් ජාලයම එහි ආර්ථික ශක්තියට පදනම වී තිබීම විශේෂත්වයකි.
යිවු වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉතිහාසය
යිවු නගරයේ නූතන තොග වෙළෙඳ සංවර්ධනයට ආරම්භයක් ලැබුණේ 1982 වසරේදීය. කුඩා පරිමාණ වෙළෙඳුන්ගේ සහ දේශීය නිෂ්පාදකයන්ගේ ක්‍රියාකාරකම් මත ගොඩනැඟුණු මෙම වෙළෙඳපොළ ක්‍රමයෙන් විශාල ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට අද වන විට පරිවර්තනය වී ඇත.
මුල් අවධියේදී දේශීය වෙළෙඳාමට සීමා වූ එය පසුව ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පුළුල් කැර ගනිමින් ලෝකයේ විවිධ රටවල ව්‍යාපාරිකයන් ආකර්ෂණය කැර ගෙන ඇත. 2011 වසරේදී චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව යිවු නගරය ජාත්‍යන්තර වෙළෙඳ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ නියමු කලාපයක් බවට පත් කිරීම ද එහි සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයකි.
ප්‍රවාහනය සහ සැපයුම් ජාලයේ වැදගත්කම
යිවු වෙළෙඳ මධ්‍යස්ථානයේ සාර්ථකත්වයට ප්‍රවාහන හා සැපයුම් පහසුකම් විශාල දායකත්වයක් සපයයි. දුම්රිය, මාර්ග සහ ගුවන් ප්‍රවාහන සේවා ඔස්සේ භාණ්ඩ ලෝකයේ විවිධ වෙළෙඳපොළ වෙත යොමු කරයි.
විශේෂයෙන්ම යිවු සිට යුරෝපය දක්වා ක්‍රියාත්මක වන චීන – යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් මාර්ගයකි. එමෙන්ම වරාය සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සමඟ සම්බන්ධ වීම නිසා ආනයන හා අපනයන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ඩිජිටල් තාක්ෂණය සහ නව වෙළෙඳ ක්‍රම
නූතන තාක්ෂණික දියුණුවත් සමඟ යිවු වෙළෙඳපොළ සාම්ප්‍රදායික තොග වෙළෙඳාමෙන් ඔබ්බට ගොස් ඩිජිටල් වෙළෙඳාමට ද පිවිස තිබේ. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම, සජීවී විකාශන හරහා අලෙවි කටයුතු සිදුකිරීම, විදේශීය ගැනුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීම සහ විද්‍යුත් වාණිජ්‍යය ඒ අතර ප්‍රධාන වේ.
එමඟින් වෙළෙඳපොළට පැමිණීමට නොහැකි විදේශීය ව්‍යාපාරිකයන්ට පවා චීන සැපයුම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථා පුළුල් වී ඇත. වෙළෙඳපොළ මිලදී ගැනීමේ විශේෂ අපනයන ක්‍රමය (Market Procurement Trade) ද කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ගේ ජාත්‍යන්තර ගනුදෙනු පහසු කිරීමට උපකාරී වී තිබේ.
ශ්‍රී ලංකාවට යිවු වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති වැදගත්කම
ශ්‍රී ලංකාව වැනි ආනයන හා අපනයන වෙළෙඳාම මත රඳා පවතින රටකට යිවු ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විශේෂ ආර්ථික වැදගත්කමක් ලබා දෙයි.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ගෘහ උපකරණ, ලිපිද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු, විදුලි උපාංග සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ තොග වශයෙන් මිලදී ගැනීම සඳහා මෙය වැදගත් වෙළෙඳ මූලාශ්‍රයක් විය හැකිය.
එසේම චීන නිෂ්පාදකයන් සමඟ සෘජු සබඳතා ගොඩනඟා ගැනීම, නිෂ්පාදන මිල ගණන් සසඳා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ගැළපෙන නිෂ්පාදන හඳුනාගැනීම සඳහා ද යිවු වෙළෙඳපොළ අවස්ථා සලසයි.
කෙසේ වෙතත්, භාණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදන ප්‍රමිතිය, නැව්ගත කිරීමේ වියදම්, රේගු බදු සහ ශ්‍රී ලංකාවේ ආනයන නීති පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.
චීනයේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී ආදර්ශයක්
යිවු නගරයේ ආර්ථික පරිවර්තනය චීනයේ වෙළෙඳ හා කාර්මික සංවර්ධනය පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් ලෙස සැලකිය හැකිය. කුඩා පරිමාණ වෙළෙඳාමක් ලෙස ආරම්භ වූ ක්‍රියාවලිය අද ලෝකයේ රටවල් රැසක් සම්බන්ධ කරන ජාත්‍යන්තර වෙළෙඳ ජාලයක් බවට පත්ව තිබීම මා මවිතයට පත් කෙළේය.
2025 වසරේදී යිවු නගරයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 836.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 25.1ක වර්ධනයකි.
මෙම වර්ධනයෙන් පැහැදිලි වන්නේ යිවු නගරය හුදෙක් භාණ්ඩ මිලදී ගන්නා සහ විකුණන වෙළෙඳපොළක් පමණක් නොවන බවයි. එය නිෂ්පාදනය, සැපයුම් ජාල, ප්‍රවාහනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා එකට සම්බන්ධ කරන දැවැන්ත ආර්ථික පද්ධතියකි.
කුඩා භාණ්ඩවලින් ලෝක වෙළෙඳපොළ ජයගත් යිවු නගරය, චීනයේ ආර්ථික සංවර්ධනයේ ශක්තිය මෙන්ම ගෝලීය වෙළෙඳාමේ වෙනස්වන ස්වභාවය ද පිළිබිඹු කරන සුවිශේෂී මධ්‍යස්ථානයක් බවට අද පත්ව ඇති බව කිවයුතුය .
12 වැනි කොටස

සටහන-
චන්දන විජේකෝන්
