
මියගිය බවට නිගමනය කරමින් භූමදාන කටයුතු සඳහා මිනී පෙට්ටියක තැන්පත් කළ 15 හැවිරිදි දැරියක් පැය 8කට පසු යළි නැඟිටීමේ සිදුවීමක් ග්වාතමාලා රාජ්යයෙන් වාර්තා වේ.
රෝගීත්ත්වයෙන් පසුවූ යුලේයිඩි අයික්කොටොයැක් නමැති මේ දැරිය වෛද්යවරයකු වෙත රැගෙන යමින් සිටියදී සිහිසුන් වී ඇති අතර, ඇගේ හෘද ස්පන්දනය නැවතී ඇති බවටත්, ඇය මියගොස් ඇති බවටත් නිගමනය කැර ඇති ඇගේ පියා නැවත නිවෙසට පැමිණ අවසන් කටයුතු සඳහා සූදානම් කැර ඇත්තේ දැරිය කිසිදු වෛද්ය පරීක්ෂණයකට ලක් කිරීමකින් තොරව බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එදිනම පස්වරුවේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඇගේ නිවෙසේ අවමංගල්ය උත්සවය පවත්වමින් සිටින අතරතුර හදිසියේම මිනී පෙට්ටිය සෙලවීමට පටන් ගෙන ඇති බවත්, පසුව පිරිස එක්ව එය විවෘත කිරීමත් සමඟ දැරිය දෑස් හැර නැගී සිටි බවත් වාර්තා වේ.
මේ විස්මයජනක සිදුවීමෙන් අවමංගල්ය උත්සවයට පැමිණි පිරිස නොසන්සුන් වූ බව ද විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි. එම සිදුවීම වාර්තා වීමත් සමඟ අදාළ නිවෙසට පැමිණි මාධ්යවේදීන්ට දැරියගේ පියා ප්රකාශ කැර ඇත්තේ ඇගේ හෘද ස්පන්දනය නැවතී ඇති බව සැක හැර දැන ගැනීමෙන් පසු නිවෙසට රැගෙන ඇවිත් අවමංගල්ය කටයුතු සූදානම් කළ බවයි.

දේව හාස්කමකින් සිය දියණිය මළවුන්ගෙන් අවදිවූ බව ද පූජකවරයකු වන ඇගේ පියා වැඩිදුරටත් සඳහන් කැර තිබේ. දැරිය මිනී පෙට්ටියෙන් අවදිවීම පටිගත වූ වීඩියෝ පටය මේ වන විට එරට සමාජ මාධ්යජාලා අතර වැඩි අවධානයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
