Impartial news reporting for a stronger democratic society
අප්‍රිකාව සහ මැද පෙරදිග සමඟ වෙළඳ සබඳතා ගොඩනැගීමට පෙර, ඉන්දියාව සහ චීනය සමඟ වෙළෙඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව  සුදානම්

ඉන්දියාව සහ චීනය සමඟ අත්හිටුවා ඇති වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බව වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කැර ඇත.

වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදියුල්වැව මහතා ඊයේ (12) පැවති ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ (SLEIS) හි ආයෝජන පිළිබඳ සැසියේදී මෙම අදහස් පළ කෙළේය.

තවදුරටත් අදහස් දැක්වු  ඒ් මහතා  මෙසේද පැවසීය.

නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) පිළිබඳ රජයේ සමාලෝචනයකින් අනතුරුව, අප්‍රිකාව සහ මැද පෙරදිග නව වෙළෙඳපොළවල් වෙත යොමු වීමට පෙර ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා ආරම්භ  කළ යුතුව තිබෙනවා.

පවතින සියලුම නිදහස් වෙළෙඳ ගිවිසුම් මෙන්ම අත්හිටුවා ඇති ගිවිසුම් ද සමාලෝචනය කිරීමට නව ආණ්ඩුව තීරණය කර  තිබෙනවා.

නව ගිවිසුම් සඳහා වන රාමුව

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නියෝග කර අගෝස්තු මාසයේදී අවසන් කරන ලද මෙම සමාලෝචනය ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අනුමත කර ඇති බවත්, නව ගිවිසුම් පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන යෑමට ඔවුන් උපදෙස් දී ඇති බවත් මහදියුල්වැව මහතා සඳහන්  කෙළේය.

ඒ අනුව, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන සාකච්ඡාකරු ලෙස පත් කර ඇති අතර, ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවමින් උප කමිටු ද නම් කැර ඇත.

අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් හුදෙක් භාණ්ඩවලට පමණක් සීමා නොවන බව ඔහු පැවසීය.

ඒවා ආයෝජන, සේවා, රජයේ ප්‍රසම්පාදන, විද්‍යුත් වාණිජ්‍යය, වෙළඳ පහසුකම් සැපයීම සහ ආරවුල් විසඳීම යන අංශ ආවරණය කරන අතර, ඒවා ශක්‍යතා අධ්‍යයනයන් මත පදනම් වනු ඇත.

අපනයන, ආයෝජන සහ සේවා එකිනෙක සම්බන්ධ කිරීම මෙන්ම ශ්‍රී ලංකාව ගෝලීය සහ කලාපීය අගය දාමයන් (value chains) සමඟ සම්බන්ධ කිරීම මෙහි අරමුණයි.

රටේ සාකච්ඡා කිරීමේ ධාරිතාව සීමිත බැවින් නව ගිවිසුම් පිළිබඳ කටයුතු ක්‍රමයෙන් සිදු කරන බව ඔහු පිළිගත්තේය.

ප්‍රධාන ආසියානු වෙළෙඳපොළවල් කෙරෙහි අවධානය

පළමු ප්‍රමුඛතාවය වන්නේ අත්හිටුවා ඇති ගිවිසුම් පිළිබඳව කටයුතු කිරීමයි; එනම්, දැනට පවතින භාණ්ඩ සඳහා පමණක් වන නිදහස් වෙළඳ ගිවිසුම මත පදනම්ව යෝජිත ‘ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ (ETCA) යටතේ ඉන්දියාව සමඟ ගැඹුරු සම්බන්ධතාවක් ගොඩනැගීම සහ චීනය සමඟ ඇති ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව නව කලාප වෙත අවධානය යොමු කරනු ඇතැයි ඔහු පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඕමානයෙන් යෝජනා ලැබී ඇති අතර, අප්‍රිකාව සමඟ ඇති ගිවිසුම් ඇගයීමට ලක් වෙමින් පවතී; එමෙන්ම අප්‍රිකාවේ නව වෙළෙඳ කාර්යාල විවෘත කිරීම පිළිබඳව ද දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටී.

2024 දී තායිලන්තය සමඟ අත්සන් කරන ලද පුළුල් නිදහස් වෙළඳ ගිවිසුම නීතිමය ගැටලු හේතුවෙන් තවමත් අනුමත වී (ratified) නොමැත.

එම අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ලබන වසරේදී එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. ASEAN රටවල්, චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් 15කින් සමන්විත ‘කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්ව’ (RCEP) කණ්ඩායමට එක්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය ද මේ වන විට ඉදිරියට යමින් පවතී.

ශ්‍රී ලංකාව 2023 වසරේදී ඒ සඳහා අයදුම් කළ අතර, තම සූදානම පිළිබඳව මතු වූ ප්‍රශ්න සිය ගණනකට පිළිතුරු සපයා ඇත; එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ASEAN ඇමැතිවරු  විසින් විශේෂ කාර්ය කණ්ඩායමක් ද පත් කැර තිබේ.

රටේ ආදායම් වර්ගීකරණයේ සිදුවී ඇති වෙනස්කම් ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන්, තීරුබදු රහිතව වෙළඳාම් කිරීමට අවස්ථාව ලබා දෙන යුරෝපා සංගමයේ ‘සාමාන්‍ය මනාප ක්‍රමවේදය ප්ලස්’ (GSP+) සඳහා එහි මීළඟ වටයේදී නැවත අයදුම් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ඔහු පැවසීය.

එක්සත් රාජධානියේ ‘සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය’ (DCTS) යටතේ, එම රටට අපනයනය කරන ඇඟලුම් සඳහා තුන්වැනි රටක නිෂ්පාදිත රෙදිපිළි (third-country fabric) භාවිත කිරීමට ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේ සිට අවසර ලැබී ඇති අතර, මෙය ඇඟලුම් කර්මාන්තයට ලැබුණු විශාල වාසියක් බව ඔහු සඳහන් කෙළේය.

විදේශීය ආයෝජකයින්ට ආරාධනයක්

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 41ක් පමණ මනාප වෙළඳ ක්‍රමවේදයන් යටතේ ආවරණය වන අතර, ඉන් සියයට 18කට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමයේ GSP+ ක්‍රමවේදය යටතේ සිදු කෙරේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සහ කලාපීය වෙළෙඳ ගිවිසුම්වල දායකත්වය සමස්ත අපනයනවලින් සියයට 8ක් පමණි.

එම ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කෙරෙන ප්‍රධාන භාණ්ඩ අතරට ඇඟලුම්, පරිවාරක සහිත විදුලි රැහැන් (insulated wires), පාපැදි, ගෘහ භාණ්ඩ, කුළුබඩු, ඇලුමිනියම් නිෂ්පාදන, රබර් අත්වැසුම්, ටයර් සහ සක්‍රීය කාබන් (activated carbon) ඇතුළත් වේ.

පාකිස්තානය වෙත සිදු කෙරෙන අපනයනවලට ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය තෙල් (essential oils), කුළුබඩු සහ වියළන ලද පොල් (desiccated coconut) ඇතුළත් වන අතර, මෑතකදී අන්නාසි ද ඊට එක් කර ඇත. DCTS යටතේ එක්සත් රාජධානියට සිදු කෙරෙන අපනයනවලින් සියයට 75කට වැඩි ප්‍රමාණයක් ඇඟලුම්වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන පදනමක් පවත්වා ගනිමින් ආසියානු සහ දකුණු ආසියානු වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කරන ඕනෑම අයෙකු මේ මොහොතේම ඒ සඳහා කටයුතු කළ යුතු බව මහදියුල්වැව මහතා ආයෝජකයින්ට පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp