
චීනය සහ ඉන්දියාව අතර පවතින දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් විශේෂ නියෝජිත මට්ටමේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ (26) බෙයිජිංහිදී පැවැත්විණි.
එහිදී කරුණු අටකට එකඟතාව ලබාගෙන ඇති බව චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත.
චීන විශේෂ නියෝජිත, විදේශ ඇමැති Wang Yi සහ ඉන්දීය විශේෂ නියෝජිත, ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval යන මහත්වරු දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කැර ගත්හ. එහිදී කරුණු අටකට එකඟතාව පළ වී ඇත.
දෙරටේ නායකයන් විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීමටත්, දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීමටත් දෙපාර්ශ්වය යළිත් සිය කැපවීම තහවුරු කැර තිබේ. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා මනාව සහ ස්ථාවරව වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණ වී ඇත.
2005දී අත්සන් කරන ලද චීන–ඉන්දීය දේශසීමා ගැටලුව විසඳීම සඳහා වන දේශපාලන පරාමිතීන් සහ මාර්ගෝපදේශ මූලධර්ම පිළිබඳ ගිවිසුමට සහ පසුව පැවති විශේෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතාවලට අනුව දේශසීමා ගැටලුව විසඳීම සඳහා වන රාමුවක් පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය සිය කැපවීම අවධාරණය කර තිබේ. එහි අරමුණ වන්නේ සාධාරණ, තාර්කික සහ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමය.
චීන – ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ සාකච්ඡා සහ සම්බන්ධීකරණය සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණය (WMCC) යටතේ ක්‍රියාත්මක දේශසීමා සීමා නිර්ණය පිළිබඳ විශේෂඥ කණ්ඩායම සහ දේශසීමා කළමනාකරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම මඟින් දේශසීමා සීමා නිර්ණය සහ කළමනාකරණය සම්බන්ධයෙන් කඩිනම් හා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යනු ඇත. භූමියේ ඇතිවන ඕනෑම තත්ත්වයකට පවතින රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා මාර්ග ඔස්සේ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
දේශසීමා කළමනාකරණ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින් ජෙනරාල් මට්ටමේ හෝ ජ්‍යෙෂ්ඨතම හමුදා අණදෙන නිලධාරී (SHMC) රැස්වීම් පැවැත්වීම සඳහා තවත් රැස්වීම් ස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ. එමෙන්ම නැඟෙනහිර සහ මධ්‍යම ප්‍රදේශ සඳහා දේශසීමා හමුදා හදිසි සෘජු සන්නිවේදන මාර්ග දෙකක් අලුතින් ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ කෙරිණ.
දේශසීමා හරහා සිදුවන සහයෝගීතාවයේ ප්‍රගතිය ද දෙපාර්ශ්වයේම අවධානයට ලක්ව තිබේ.Xizang ස්වායත්තයේ පිහිටි Gang Renpoche කන්ද සහ Mapam Yun Tso විල වෙත ඉන්දීය නිල වන්දනාකරුවන්ගේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමට චීන පාර්ශ්වය ගෙන ඇති ප්රයත්නයන් මෙහිදී ඉන්දීය පාර්ශ්වය අගය කර තිබේ.එමෙන්ම නම් කරන ලද දේශසීමා වෙළෙඳ ස්ථාන තුන නැවත විවෘත කිරීම ද දෙපාර්ශ්වයේම ඇගයුමට ලක්ව ඇත. දේශසීමා වෙළෙඳාම, වන්දනා ගමන් සහ අනෙකුත් ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
දේශසීමා හරහා ගලායන ගංගා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන චීන–ඉන්දීය දේශසීමා හරහා ගලායන ගංගා පිළිබඳ විශේෂඥ මට්ටමේ යාන්ත්‍රණයෙහි මීළඟ රැස්වීම සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ජල විද්‍යාත්මක දත්ත හුවමාරුව සහ අදාළ අවබෝධතා ගිවිසුම් අලුත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇත.
චීන – ඉන්දීය විශේෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවල 26 වැනි වටය 2027දී ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
