
විනෝදාස්වාදන වීසා (Temporary Activity Visa) ක්‍රමවේදය අවභාවිත කරමින් මිනිස් ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු.
නෛතික රාමුව කඩකිරීමෙන් සැබෑ කලාකරුවන්ටත් ජාත්‍යන්තර අවස්ථා අහිමිවීමේ බරපතළ අවදානමක්.
කලා සහ සංස්කෘතික ප්‍රසංග සඳහා ලබාදෙන තාවකාලික සංචාරක හා විනෝදාස්වාදන වීසා (Entertainment/Temporary Activity Visas) පද්ධතිය අවභාවිත කරමින්, සංවිධානාත්මක පිරිස් පුද්ගලයන් විදේශගත කිරීමේ නව මානව ජාවාරමක් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබේ.
අතීතයේ ක්‍රියාත්මක වූ අනවසර මුහුදු මාර්ගික සංක්‍රමණ (‘Operation Sovereign Borders’ ) වැනි දැඩි දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් වැළකී ගියද ජාවාරම්කරුවන් නීත්‍යානුකූල වීසා ක්‍රමවේදවල පවතින පරිපාලනමය අවකාශයන් මෙලෙස ව්‍යාජ ලෙස භාවිත කිරීමට යොමුව ඇති බව නිරීක්ෂණය වේ.
ව්‍යාජ අනුග්‍රාහකත්ව සහ විශාල මූල්‍ය අය කිරීම්
වාර්තා වන තොරතුරුවලට අනුව, කිසිදු කලාත්මක පසුබිමක් නොමැති පුද්ගලයන් වේදිකා සහායකයන්, කාර්මික ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන් හෝ සංවිධාන කමිටු සාමාජිකයන් ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් අදාළ තානාපති කාර්යාල වෙත ඉදිරිපත් කරනු ලබයි.
එක් පුද්ගලයකු වෙනුවෙන් මෙලෙස ව්‍යාජ අනුග්‍රාහකත්ව ලිපි සහ ලිය කියවිලි සැකසීමට රුපියල් ලක්ෂ ගණනක අතිවිශාල මුදලක් අය කෙරෙන අතර, මෙලෙස ගමන් ගන්නා ඇතැම් පුද්ගලයන් විදේශ රටවලට ඇතුළු වූ පසු නියමිත කාලය ඉක්මවා රැඳී සිටීම හෝ සරණාගතභාවය ඉල්ලා සිටීම හේතුවෙන් නීතිමය ගැටලුවලට මුහුණ දෙන බව වාර්තා වේ. තවද, වීසා ප්‍රතික්ෂේප වීම් හෝ විදේශයන්හිදී අත්අඩංගුවට පත්වීම් නිසා විශාල පිරිසක් දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයන්ට ගොදුරු වී ඇත.
ජාත්‍යන්තර නීතිමය තත්ත්වය සහ මානව හිමිකම් අවදානම
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) පෙන්වා දෙන්නේ සංක්‍රමණික වීසා සඳහා ව්‍යාජ තොරතුරු හෝ ලේඛන ඉදිරිපත් කිරීම දැඩි දණ්ඩනීය වරදක් වන අතර, ඊට අදාළව දීර්ඝකාලීන සිරදඬුවම් සහ විදේශගතවීම් තහනම් කිරීම් ක්‍රියාත්මක වන බවයි.
එසේම, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) නිකුත් කැර ඇති වාර්තාවල දැක්වෙන්නේ, නීත්‍යානුකූල නොවන අයුරින් කෙටි කාලීන වීසා මගින් රැගෙන යනු ලබන පුද්ගලයින් අනාරක්ෂිත සේවා පරිසරයන්, බලහත්කාර ශ්‍රමය මෙන්ම විවිධ සූරාකෑමේ ක්‍රමවේදයන්ට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික මානව ජාවාරම් පිළිබඳ වාර්තාව (Trafficking in Persons Report) මගින්ද මෙවැනි අවදානම් සහගත තත්ත්වයන් පිටුදැකීම සඳහා දේශීය නීතිමය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.
දේශීය නියාමනය සහ සැබෑ කලාකරුවන්ට එල්ල වන බලපෑම
ශ්‍රී ලංකාව තුළ මානව ජාවාරම් මර්දනය කිරීම සහ විදේශ රැකියා නියාමනය ශක්තිමත් කිරීම සඳහා ‘ජාතික මානව ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය’ (National Anti-Human Trafficking Taskforce) විසින් 2026–2030 උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාජ ක්‍රියාකාරකම් හේතුවෙන් වඩාත්ම අවදානමට ලක්වන්නේ සැබෑ ප්‍රසංග සහ සංස්කෘතික හුවමාරු සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කලාකරුවන් බව විද්වත්හු පෙන්වා දෙති. වීසා පරීක්ෂාවන් දැඩි වීම සහ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන කලා කණ්ඩායම් පිළිබඳ දැඩි සුපරීක්ෂාකාරී නීති රීති පැනවීම නිසා, නියම දක්ෂතා සහිත ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවට ප්‍රවේශ වීමේදී විවිධ බාධාවලට මුහුණ දීමට සිදුවන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ රාජ්‍ය යාන්ත්‍රණයන් මගින් සංස්කෘතික ප්‍රසංග සංවිධානය කරන ආයතන සහ සංවිධායකයින් පිළිබඳ විධිමත් පසුබිම් විමර්ශනයක් සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව මතු වී තිබේ.
වැඩිදුර කියවීම සඳහා:
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව – වීසා වංචා සහ නීතිමය විධිවිධාන: Australian Department of Home Affairs – Migration Fraud
ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) – මානව ජාවාරම් පිටුදැකීමේ වැඩසටහන්: International Organization for Migration – Sri Lanka
(Source – The Leader)
