Impartial news reporting for a stronger democratic society
බෙංගාලයේ ලොකු අක්කාගේ ආධිපත්‍ය බිඳ වැටෙයි !  බටහිර බෙංගාලයේ බලය BJP අතට

මමතා බැනර්ජි

බටහිර බෙංගාල ප්‍රාන්තයේ වසර 35ක් පැවැති  කොමියුනිස්ට් පක්ෂ පාලනය බිඳ දමා හිටපු මහා ඇමැතිනි මමතා බැනර්ජි  ගෙන ගිය වසර 15ක සිය දේශපාලන  ආධිපත්‍ය  පසුගිය දා  නිමාවට පත් වුයේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වීමත් සමඟය.

මමතා බැනර්ජිට මහා ඇමැති ධුරය අහිමි කරමින් ඇගේ නායකත්වයෙන් යුතු සමස්ත ඉන්දීය ට්‍රිනාමූල් පක්ෂය අන්ත පරාජයට පත් කරමින් පළමුවතාවට බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත.

 බටහිර බෙංගාලයේ ව්‍යවස්ථාදායක සභාවේ ආසන 294කින් 206ක ජය අත්කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්වී ඇති අතර, ට්‍රිනාමූල් පක්ෂය ජයගෙන ඇත්තේ ආසන 81ක් පමණක් බව ද වාර්තා වේ. 71 හැවිරිදි හිටපු මහා ඇමැතිනියගේ බාබනිපූර් දිස්ත්‍රික් ආසනය ද මෙවර භාරතීය ජනතා පක්ෂයේ සුවේඳු අධිකාරි හමුවේ පරාජයට පත්වී ඇත.

බටහිර බෙංගාලයේ නව මහඇමැති සහ භාරතීය ජනතා ප්‍රාන්ත රජය දිවුරුම් දීම ලබන 9 වැනිදා සිදු කිරීමට නියමිත අතර, ප්‍රාන්තයේ නව මහඇමැතිවරයා නම් කිරිම අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සිදු කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර කේරළම් ප්‍රාන්ත මැතිවරණයෙන් ජාතික කොංග්‍රස් හිතවාදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයග්‍රහණය අත්කරගත් බව වාර්තා වේ. කේරළම් ව්‍යවස්ථාදායක සභාවේ ආසන 140ක් සඳහා පැවති මෙවර මැතිවරණයෙන් වීඩී සතීසන්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 102ක බලය අත්කරගත් බවත්, හිටපු මහා ඇමැති පිනරායි විජෙයන්ගේ නායකත්වයෙන් යුතු වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 35ක බලය හිමිකරගත් බවත් එරට ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp