Impartial news reporting for a stronger democratic society
හත් මසකට පසු චෙම්මනි සමූහ සුසානයේ කැනීම්  ඇරඹේ — දින 3කදී තවත් මිනිස් අස්ථි හඳුනා ගෙන

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසු යළිත්  ආරම්භ කැර දින තුනත් ගත වෙද්දී, සමුහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතින බව හදුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කැරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමඟ සුසානයේ කැනීම් කටයුතු  පසුගිය  අප්‍රේල් 27 වැනි පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ වය.

 වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා අප්‍රේල් 29 වැනි බදාදා  මාධ්‍යවේදීන් හමුවේ හෙළි කැර තිබුණේ කැනීම් වළේ වයඹ කොටසේ මිනිස් අස්ථි පවතින බව හදුනාගෙන ඇති බවයි.
“දැනටමත් කැණීම් කර ගොඩ ගෙන ඇති ඇටසැකිලි අංක 211 සහ 220 තිබු ස්ථාන වල තිබී අවශේෂ කොටස් ගොඩ අරන් තියනවා. කැණීම් දැනටමත් ආරම්භ කැර තිබෙන වයඹ කොටසේ අස්ථි කොටස් හදුනාගෙන තිබෙනවා.”
සමුහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු දින පනස් හයක කාලයක් පුරා  සිදු කිරීමට නියමිතව ඇත.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය  කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුළදීය.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමඟම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 අප්‍රේල් 7 වැනිදා විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ එම සමුහ මිනි වල නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ඇතුළු විදේශීය දුත මණ්ඩල ප්‍රධානීන් පිරිසකට යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අනුමැතිය ලැබුණු බවයි.  
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ දුත මණ්ඩලයට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියා තානාපති සේවා චෙම්මනි සමූහ මිනීවල නිරීක්ෂණයට අවසර ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.(Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp