
අමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයේ විවිධ කලාප කේන්ද්‍ර කැර ගනිමින් ගෙනයන ආක්‍රමණයන් හා ආර්ථික තීරු-බදු යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකය විශාල කම්පනයකට පත්ව ඇති අවස්ථාවක මෙරට කම්කරු පන්තිය, ලෝක කම්කරු පන්තිය සමඟ එක්ව 2026 මැයි දින සමරනු ලබන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති මැයි දින පණිවුඩයේ සඳහාන් වෙයි.

එම මැයි දින පණිවුඩයේ තවදුරටත් මෙසේද සඳහාන් වෙයි.
දේශීය වශයෙන් ගත් කළ රටතුළ පුපුරා ගිය උග්‍ර ආර්ථික අර්බුදය තවමත් නොවිසඳුණු තත්ත්වයක පවතී. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආර්ථික අර්බූදය හා ඒ සමඟ බැඳුණු දේශපාලන, සාමාජීය සහ සංස්කෘතික ප්‍රශ්න අද තව තවත් උග්‍ර අතකට හරවා තිබේ.
1886 මැයි 04 වැනි දා අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ කම්කරුවන් පැය 08 ක වැඩදිනයක් ඉල්ලා කරනු ලැබූ අරගලය මර්දනය කිරීම මුල්කරගෙන, 1890 සිට මැයි 01 දා, ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් සැමරීමට ලෝක කම්කරු පන්ති ව්‍යාපාරය තීරණය කෙළේය. එතැන් පටන් මැයි 01 වැනි දා, ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් විය. ලෝකය වටා සිටින කම්කරුවන් සිය අයිතීන් දිනා ගැනීම සඳහා පන්තියක් වශයෙන් අරගලය කරන්නට විය.
මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලොව පුරා සිටින වැඩකරන ජනතාව සමඟ එක්ව ජාත්‍යන්තර මැයි දිනය සමරන්නේ උණුසුම් සහෝදරාත්මක සුබ පැතුම් සහ සහයෝගගීතාවය පෙර දැරී කැර ගෙනය.
එදා මෙදා තුර, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා මානව විමුක්තිය වෙනුවෙන් කරන අරගලයේ යෙදී, සටන් භූමියේ ඇද වැටුණු , මිය ගිය හා කැපවීමෙන් ක්‍රියා කළ ලක්ෂ සංඛ්‍යාත සහෝදර සහෝදරියන් වෙත ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය ආචාරය පිරිනමන්නේ සහෝදරාත්මකවය.
1978 දී හඳුන්වාදුන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් නිසා අපි ජාතියක් හැටියට අවුරුදු 50 ට ආසන්න කාලයක් බැට කා ඇත්තෙමු. ගොඩනැගෙමින් තිබුණු අපේ නිශ්පාදන ආර්ථික රටාව මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් නිසා විනාශ වී ගිය බව වසන් කළ නොහැකිය. අධිරාජ්‍යවාදී රටවල නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳපොළක් බවට අපේ රට පත් විය. අවසානයේ සිදු වුයේ රටේ ආර්ථික අර්බූදයක් ඇති එය පුපුරා යෑමයි. මේ භායානක තත්ත්වය නිසා ,
- රටේ විදේශ විනිමය සංචිතය කඩා වැටුනි
- රාජ්‍ය ආදායම කඩා වැටුනි
- මහා ණය කන්දක් ගොඩගැහුනි
ඊට අතිරේක වශයෙන්, දූෂණය සමාජ දේහය පුරා පැතිරී රාජ්‍ය සේවාව මුළුමනින්ම දේශපාලනීයකරණය වුණි. අපි 1972 දී ජනජයක් බවට පත්වෙලා දේශපාලන නිදහස සම්පූර්ණ කළත්, අද වන විට අපිට සැබෑ දේශපාලන නිදහස නැති වී ගොස් තිබේ.
2023 දී හඳුන්වා දුන් අයි.එම්.එෆ්. වැඩසටහනින් අර්බුදයට විසඳුමක් පෙනෙනතෙක් මානයේ නොතිබුණත්, නැවත සමාලෝචනයට බඳුන් කරන බවට පොරොන්දු වූ එම ගිවිසුම, කිසිදු වෙනසකින් තොරව ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටී බව අමතක නොකළ යුතුය.
මේ අතර, වසර 500කට පසු ආසියානු ආර්ථිකය, ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වශයෙන් ඉදිරියට පැමිණ තිබීම නව නිදහස් රටවල ජනතාවට ශක්තියකි, ආශ්වාදයකි. අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් බහුද්‍රව නව ලෝක රටාවක් නිර්මාණය වෙමින් තිබේ .
උදාවී ඇති මෙම ඓතිහාසික අවස්ථාව උපරිම ලෙස උපයෝගී කැර ගනිමින්, නව ලෝක ආර්ථික රටාව සහ නව ලෝක බල තුලනය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙමින් තිබෙන අර්බූදයෙන් මිදී ආර්ථිකස්වෛරීත්වයදිනාගැනීම සඳහා කරනු ලබන අරගලය, උත්සන්න කරලීමට අපි අදිටන් කැර ගනිමු. අර්බුදයෙන් මිදීමේ මාවත වැටී ඇත්තේ ගෝලීය දකුණ හා බැඳුණු ආර්ථික මාවත තුළ බව අවධාරණය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, බ්‍රික්ස් (BRICS) සංවිධානය සමඟ සහයෝගිතා මාර්ගයට පිවිසෙන ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවට බලකර සිටින්නේමු.
නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයෙන් මිදී ආර්ථික ස්වෛරීත්වය දිනාගැනීමේ අරගලය අධිරාජ්‍ය විරෝධී සටනක් බැවින් ඒ සඳහා, සියලු දේශප්‍රේමී, ප්‍රගතිශීලී සහ වාමගාමී බලවේගයන් එක්සත්ව ක්‍රියා කළයුතු බවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යෝජනා කරන්නෙමු.
රාජ්‍ය පෞද්ගලික අංශවල සේවක පිරිස් සඳහා ජීවත්වීමට සරිලන වැටුප් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර, දරා ගැනීමට නොහැකි ජීවන වියදම අඩු කරන ලෙස ඉල්ලා ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, පුද්ගලීකරණ ක්‍රියාවලිය නවතා දමන ලෙස බලකර සිටීන්නෙමු.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, කේවල හා සමානුපාතික ක්‍රම ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය. රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීය භාවය ආරක්ෂා වන පරිදි, විවිධ මට්ටම්වල ප්‍රජාතන්ත්‍රවාදී බල ඒකකවල, මහජන පරමාධිපත්‍යය ප්‍රායෝගිකව සහතික කරමින්, අන් අයගේ අයිතිවාසිකම්වලට බාධාවක් නොවන පරිදි තම භාෂාව ආරක්ෂා කැර ගැනීමට සහ ඔවුන්ගේ ඇදැහීම් පිළිපැදීමට රටේ සියලූම ප්‍රජාවන්ට අයිතිය ලැබෙන, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජාතික ජන බලවේග ආණ්ඩුවට බලකර සිටීන්නෙමු.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික තත්ත්වයන්ට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් හා අනෙකුත් පාර්ශ්වවලට මැදිහත් විය හැකි වනසේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අත්සන් කොට ඇති ගිවිසුම්වලට දැඩි විරෝධය පළ කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, දශක අටකට ආසන්න කාලයක් තිස්සේ රට අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අහෝසි කරමින් අත්සන් තැබු යුද ගිවිසුම් වහා අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින්නෙමු.
ලෝක කම්කරු දිනයට ජයවේවා!
ලාංකීය වැඩකරන පන්ති ව්‍යාපාරයට ජයවේවා!
2026.04.28
