
වසර 5000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන චීනයේ ලියැන්ෂු ශිෂ්ටාචාරය පදනම් කැර ගනිමින් පැවැත්වෙන ලියැන්ෂු සංසදය (Liangzhu Forum) 2026 වසරේදී ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාවයේ වැදගත් වේදිකාවක් බවට පත්විය. සිව්වැනි වරට පැවැති මෙම සංසදය ඔක්තෝබර් 18 සිට 20 දක්වා චීනයේ ෂෙජියැං පළාතේ හැංෂෞ නගරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික කේන්ද්‍රයේ අනුග්‍රහය ඇතිව චීනයේ හැංෂෞ නගරයේ පැවැති ජාත්‍යන්තර සංස්කෘතික සංවාදයට සහභාගි වීමට මට ද අවස්ථාව උදාවිය. මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක්ද එක් වීම විශේෂත්වයකි.

“අතීතය සහ අනාගතය අතර පාලමක් ගොඩනැඟීම: අපේ කාලය සඳහා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම” (Bridging the Past and the Future: Safeguarding Cultural Heritage for Our Times) යන තේමාව යටතේ මෙවර සංසදය සංවිධානය කැර තිබිණි.
ලෝකයේ විවිධ රටවල සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, පුරාවිද්‍යාත්මක සොයාගැනීම් හුවමාරු කැරගැනීම, අහිමි වූ සංස්කෘතික වස්තු නැවත ඒවායේ මව් රටවලට ලබාගැනීම සහ තිරසර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර විය.
ලියැන්ෂු නටබුන් සොයාගැනීමේ 90 වැනි සංවත්සරය
2026 වසරේ සංසදයට විශේෂ වැදගත්කමක් එක්වූයේ ලියැන්ෂු පුරාවිද්‍යාත්මක නටබුන් සොයාගැනීමේ 90 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදී තිබීමයි.
1936 වසරේදී ලියැන්ෂු ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයාගැනීම ආරම්භ ඇත.. පසුව සිදුකළ කැණීම් සහ පර්යේෂණ මඟින් වසර 5000කට පමණ පෙර එහි පැවැති සංවිධානාත්මක නාගරික ශිෂ්ටාචාරයක තොරතුරු අනාවරණය කැරගැනීමට හැකි විය.
නගර සැලසුම්, මාලිගා සංකීර්ණ, සොහොන් බිම්, ජල කළමනාකරණ පද්ධති සහ ජේඩ් පාෂාණයෙන් නිර්මාණය කළ කලාත්මක භාණ්ඩ එම ශිෂ්ටාචාරයේ දියුණු බව පෙන්වන සාක්ෂි වේ.
2019 වසරේදී ලියැන්ෂු පුරාවිද්‍යාත්මක නටබුන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි. එමඟින් චීනයේ වසර 5000ක ශිෂ්ටාචාර ඉතිහාසය පිළිබඳ වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෝකය ඉදිරියේ පිළිගැනීමට ලක් වුවා පමණක් නොව, ඒ්වා පිළිබඳව අධ්‍යයනයන්ද පුළුල් විය.
රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකින් විද්වතුන් හා නියෝජිතයෝ

මෙවර සංසදයට රටවල් සහ කලාප 60කට ආසන්න සංඛ්‍යාවකින් විද්වතුන්, පුරාවිද්‍යාඥයන්, සංස්කෘතික ක්ෂේත්රයේ විශේෂඥයන් සහ රාජ්‍ය නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය, ජාතික සංස්කෘතික උරුම පරිපාලනය සහ ෂෙජියැං පළාත් රජය එක්ව මෙම සංසදය සංවිධානය කැර තිබිණි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO), සංස්කෘතික දේපොළ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (ICCROM), ආසියානු සංස්කෘතික උරුම ආරක්ෂණ සන්ධානය සහ ජාත්‍යන්තර උරුම ආරක්ෂණ සන්ධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ.
සංසදයේ සමාරම්භක අවස්ථාවට එක්වූ ග්‍රීසියේ සංස්කෘතික ඇමැතිනි ලීනා මෙන්ඩෝනි (Lina Mendoni) සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් නව තාක්ෂණය සහ ඒකාබද්ධ කළමනාකරණ ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.
දේශගුණික විපර්යාස සහ නාගරීකරණය වැනි අභියෝග හමුවේ එක් රටකට පමණක් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කළ නොහැකි බවත්, ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
ප්‍රධාන සාකච්ඡා සඳහා උප සංසද පහක්
2026 සිව්වැනි ලියැන්ෂු සංසදය ප්‍රධාන සැසිවාරයකින්, උපසංසද පහකින් සහ අනුබද්ධ වැඩසටහන් පහකින් සමන්විත විය.
එහි උපසංසද පහ යටතේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ කරුණු මෙසේය.
1. මුල්කාලීන ශිෂ්ටාචාරවල ආරම්භය සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි
ලෝකයේ මුල්කාලීන ශිෂ්ටාචාර බිහිවීම, පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හෙළිවන තොරතුරු සහ එම උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර විද්වත් සංවාද මෙහිදී පැවැත්විණි. ලියැන්ෂු නටබුන් සොයාගැනීමේ 90 වැනි සංවත්සරය ද මෙයට සම්බන්ධ කරගන්නා ලදී.
2. ලෝක උරුම ලැයිස්තුගත කිරීම සහ උරුමයන්ගේ වටිනාකම රැකගැනීම
යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ස්ථාන ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය, උරුමයන්ගේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කිරීම සහ ඒවා අනාගත පරම්පරාවට දායාද කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
3. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම
ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ නව විද්‍යාත්මක ක්‍රමවේද භාවිතයෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන හා සංස්කෘතික වස්තු ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු විය.
4. අහිමි වූ සංස්කෘතික වස්තු නැවත මව් රටවලට ලබාගැනීම
ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී රටවලින් පිටතට ගෙනගොස් ඇති පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වස්තු නැවත ඒවායේ මව් රටවලට ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව, නීතිමය ක්‍රමවේද සහ ප්‍රතිපත්ති සකස් කිරීම මෙහිදී සාකච්ඡාවට ලක්විය.
5. සංස්කෘතික උරුමයන් සහ තිරසර සංචාරක කර්මාන්තය
ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම, ප්‍රදේශවාසීන්ට ආර්ථික ප්රතිලාභ ලබාදීම සහ පාරිසරික හා සංස්කෘතික වටිනාකම් රැකගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
රැකීමට ජාත්‍යන්තර ගිවිසුම්
මෙවර සංසදයේ කැපීපෙනෙන ප්‍රතිඵලයක් වූයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන අතර සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමයි.
චීනයේ ජාතික සංස්කෘතික උරුම පරිපාලනය සහ රෝමය මූලස්ථානය කරගත් ICCROM ආයතනය අතර සහයෝගීතා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. එමෙන්ම ආසියානු සංස්කෘතික උරුම ආරක්ෂණ සන්ධානය සහ ජාත්‍යන්තර උරුම ආරක්ෂණ සන්ධානය අතර ද උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
මෙවැනි සහයෝගීතා මඟින් සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේ දැනුම, තාක්ෂණය සහ පර්යේෂණ අත්දැකීම් රටවල් අතර හුවමාරු කැරගැනීමට අවස්ථාව සැලසෙයි.

කලාකරුවන් 14 රටකින් – සංස්කෘතික හුවමාරුවට නව අවස්ථාවක්
සංසදයට සමගාමීව සංවිධානය කළ විශේෂ වැඩසටහන් අතර ජාත්‍යන්තර කලාකරුවන්ගේ සහභාගීත්වය කැපීපෙනුණි.
රටවල් 14කින් පැමිණි ප්‍රසිද්ධ කලාකරුවන් 25 දෙනකු හැංෂෞ නගරයට පැමිණ ලියැන්ෂු ඇතුළු ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන නැරඹීමෙන් අනතුරුව තම නිර්මාණ ඉදිරිපත් කළහ.
මෙම වැඩසටහන යටතේ සේද මාවත ආශ්රිත කලා නිර්මාණ හුවමාරු වැඩසටහනක්, ලියැන්ෂු සංස්කෘතික හා නිර්මාණශීලී වෙළෙඳපොළක් සහ චීන සංස්කෘතික උරුමයන් ඇසුරින් නිර්මාණය කළ නවීන නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.
විශේෂයෙන්ම පුරාණ ලියැන්ෂු ජේඩ් කැටයම්වල ආභාසය නවීන නිර්මාණකරණයට සහ කලාත්මක නිෂ්පාදනවලට යොදාගැනීම මෙහිදී දැකගත හැකි විය.
තරුණ පරපුරට ලෝක ශිෂ්ටාචාර පිළිබඳ අවබෝධයක්
ලියැන්ෂු සංසදයේ තවත් වැදගත් අරමුණක් වූයේ තරුණ පරපුර අතර සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීමයි.
ඔක්තෝබර් 19 වැනිදා ෂෙජියැං ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලයේදී පැවැති ‘ලියැන්ෂු ශිෂ්ටාචාරය සහ ලෝකය අතර සංවාදය’ (Liangzhu Civilization in Dialogue with the World) වැඩසටහනට විදේශ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, ජාත්‍යන්තර විද්වතුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ වූහ.
විවිධ රටවල ශිෂ්ටාචාර පිළිබඳ අවබෝධය, ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම සහ අන්තර්සංස්කෘතික හුවමාරුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
චීනයේ සංස්කෘතික උරුමය ලෝකයට විවෘත කිරීම
2026 ලියැන්ෂු සංසදයෙන් ඉදිරිපත් වූ තවත් වැදගත් අදහසක් වන්නේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය එකිනෙකට පටහැනි ක්‍රියාවලීන් නොවන බවයි.
ලියැන්ෂු පුරාවිද්‍යාත්මක භූමිය කේන්ද්‍ර කැරගනිමින් ඓතිහාසික ස්ථාන, පැරණි ගම්මාන, කෞතුකාගාර සහ සංස්කෘතික නිර්මාණ මධ්‍යස්ථාන සම්බන්ධ කරන සංස්කෘතික සංචාරක කලාපයක් සංවර්ධනය කැර තිබේ.එමඟින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන අතරම ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට ද අවස්ථාව සැලසී ඇත. නවීන ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් පුරාණ නගරයේ අත්දැකීම් සංචාරකයන්ට ලබාදීම ද එහි විශේෂත්වයකි.
අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අනාගතයටත්
2026 සිව්වැනි ලියැන්ෂු සංසදය හුදෙක් ජාත්‍යන්තර සමුළුවක් ලෙස පමණක් හැඳින්විය නොහැකිය. එය ලෝකයේ විවිධ ශිෂ්ටාචාර අතර අවබෝධය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කිරීමේ වැදගත් උත්සාහයකි.
වසර 5000කට පෙර ලියැන්ෂු ජනතාව ගොඩනැඟූ නාගරික ශිෂ්ටාචාරය අද ලෝකයට ඉදිරිපත් කරන්නේ තාක්ෂණික දැනුම, සමාජ සංවිධානය සහ සංස්කෘතික නිර්මාණශීලීත්වය පිළිබඳ වටිනා පාඩමකි.
එමෙන්ම අද ලෝකය මුහුණ දෙන දේශගුණික විපර්යාස, නාගරීකරණය, සංස්කෘතික වස්තු විනාශ වීම සහ ඓතිහාසික උරුමයන් අහිමිවීම වැනි අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවේ අවශ්‍යතාව ද මෙම සංසදය අවධාරණය කරයි.විශේෂයෙන්ම විවිධ ජාතීන්ට සහ සංස්කෘතීන්ට අයත් ජනතාව අතර ගැටුම් වෙනුවට සංවාදයත්, තරගකාරීත්වය වෙනුවට සහයෝගීතාවත් වර්ධනය කිරීමේ වැදගත්කම මෙයින් පිළිබිඹු වේ.
ඒ අනුව 2026 සිව්වැනි ලියැන්ෂු සංසදය චීනයේ පුරාණ ශිෂ්ටාචාර උරුමය ලෝකයට හඳුන්වාදීමේ අවස්ථාවක් පමණක් නොව, මානව වර්ගයා සතු පොදු සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් අනාගත ලෝකය ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සංවාදයකට මඟ විවර කළ වැදගත් වේදිකාවක් ලෙස සැලකිය හැකි බව කිවයුතුය.
දසවැනි කොටස
සටහන–

චන්දන විජේකෝන්
