
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදු කරන විමර්ශනයට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගියදා (06) නියෝග කැර ඇත.
එම නඩුවේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මීට පෙර ඇප නියම වී තිබුණද, වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙදින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති) තනුජා බණ්ඩාර මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, විමර්ශනයට අදාළව කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, හිටපු ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩම ක්‍රිෂ් සමාගමට පැවරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ඇය සඳහන් කළාය. නඩුවට අදාළ ලේඛනයක සඳහන් නාමල් රාජපක්ෂ මහතාගේ අත්අකුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එම ලේඛනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත්, ඒ සඳහා ලේඛනයේ මුල් පිටපත අවශ්‍ය බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බවත් නීතිඥවරිය අධිකරණයට ප්‍රකාශ කළාය. එම මුල් ලේඛනය මේ වන විට කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ විභාග වන නඩුවක ගොනුවක ඇතුළත් බැවින් එය ලබාගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසද කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, එම ඉල්ලීම වැඩිදුර වාර්තාවේ ඇතුළත් නොවන බැවින් අවශ්‍ය ලේඛන සහිතව ඉදිරි දිනයකදී ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය ලබන 20දා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින දක්වා ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
ලබන 20 වැනිදා වන විටත් නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම්, එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙළේය.
(රොශෙල් ප්‍රනාන්දු)
ජායාරුපය- ලංකා නිවුස් ඇසුරෙන්
