
ඉතිහාසයේ විවිධ අවස්ථාවල සමාජ , ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික අභියෝගයන්වලට මුහුණ දුන් චීනය අදවන විට ලබා ඇති දියුණුව නැවතවරක් සියසින් දැක බලාගැනීමට පසුගිය දා මා ඇතුළු මාධ්යවේදීන්, සංස්කෘතික හා සංචාරක නියෝජිතයන්ට හැකි විය. අපේ නියෝජිත කණ්ඩායමේ උපදේශකයා, නායකයා , පෙර ගමන්කරුවා වුයේ කොළඹ චීන සංස්කෘතික මධ්යස්ථානයේ ප්රධාන පරිපාලන නිලධාරී Ll Liangpei මහතායි.
Ll Liangpei මහතාගේ නායකත්වය යටතේ, කොළඹින් පිටත් වු අප නියෝජිත කණ්ඩායමේ ගමනාත්තය වුයේ වසර 5000කට උරුමකම් කියන චීනයේ හැංෂෟ (Hangzhou) නගරයයි. කොළඔ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළොන් පිටත් වු අපි පැය පහක ගුවන් ගමනකින් පසු කුමීන් (Kunming) ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ, ඒතැන් සිට පැය තුනක ගුවන් කාලයකින් පසු හැංෂෟ (Hangzhou) ජාත්යන්තර ගුවන් තොටුපොළට වෙත ළඟා වුවෙමු . අප නියෝජිත කණ්ඩායම පිළිගැනීම සඳහා ලෝරා සහෝදරිය පැමිණ සිටි අතර, ඇය අප කණ්ඩායමේ හැම දෙනාගෙම හිත දිනාගත් මාර්ගෝපදේශීකාව වුවාය.
හැංෂෞ නගරය යනු වසර 5000ක චීන ශිෂ්ටාචාර උරුමය සහ නවීන සංවර්ධනය එකට හමුවන සුවිශේෂී භූමියකි. පුරාණ ලියැංෂු ශිෂ්ටාචාරයේ නටබුන්වල සිට නවීන තාක්ෂණික නගරය දක්වා එහි ගමන්මඟ, මානව සමාජයේ පරිණාමය පිළිබඳ වැදගත් කතාවක් අපට කියා දෙයි. එබැවින් හැංෂෞ යනු චීනයේ අතීතය දැකගත හැකි ස්ථානයක් පමණක් නොව, එරට සංස්කෘතික උරුමය අනාගතය සමඟ සම්බන්ධ කරන ජීවමාන උදාහරණයක් බව කිවයුතුය.විශේෂයෙන් නැඟෙනහිර චීනයේ ජෙජියැං (Zhejiang) පළාතේ පිහිටි මෙම නගරය, පුරාණ චීන ශිෂ්ටාචාරයේ උරුමයන්, ඓතිහාසික රාජධානි, සුන්දර වැව්, සේද කර්මාන්තය, තේ සංස්කෘතිය සහ නවීන ඩිජිටල් ආර්ථිකය එකට හමුවන ලොව හරි අපූරු නගරයක් ලෙස හඳුනා දීම ඉතාම නිවැරදිය.
චීනයේ හැංෂෞ යනු වසර 5000ක ඉතිහාසයක් ඇති නගරයක් ලෙස හැඳින්වීමට පදනම සපයන්නේ එහි ආසන්නයේ පිහිටි පුරාවිද්යාත්මක ලියැංෂු (Liangzhu) ශිෂ්ටාචාරයේ නටබුන් සමුහය බව කිවයුතුය. එම උරුමය මඟින් චීනයේ ඉතිහාසය, පුරාණ නාගරික සංවිධානය සහ කෘෂිකාර්මික දියුණුව පිළිබඳ වැදගත් තොරතුරු සමුහයක් ලොවට අනාවරණය කැර තිබේ.

ලියැංෂු ශිෂ්ටාචාරයේ වසර 5000ක උරුමය
වසර 5,000කට පමණ පෙර යැංසි ගංගාවේ පහළ නිම්නය ආශ්රිතව වර්ධනය වූ මෙම ශිෂ්ටාචාරය, පුරාණ චීනයේ සමාජ හා නාගරික සංවිධානය පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් ලොවට සපයයි.මේ වන විට පුරාවිද්යාඥයන් සොයාගෙන ඇති පුරාණ නගරයේ නටබුන් අතර, නගර පවුරු, ජල කළමනාකරණ පද්ධති, වාරිමාර්ග හා වේලි, සොහොන් භූමි සහ ජේඩ් පාෂාණයෙන් නිර්මාණය කළ කලා කෘති ලොව මවිතයට පත් කළ සාධකයන්ය.

මෙයින් පෙනී යන්නේ කුමක්ද?, එම කාලයේ ජීවත් වූ ජනතාව කෘෂිකර්මාන්තය පමණක් නොව, නාගරික සැලසුම්කරණය, ජල සම්පත් කළමනාකරණය සහ සංකීර්ණ සමාජ සංවිධාන රටාවන් පිළිබඳව ද දියුණු අවබෝධයකින් කටයුතු කැර ඇති බවයි. මේ පසුබිම සැලකිල්ලට ගනිමින් 2019 වසරේදී ලියැංෂු පුරාවිද්යාත්මක ස්ථානය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වීම කැපී පෙනෙන සාධාකයකි. චීන ශිෂ්ටාචාරයේ මුල් අවධිය පිළිබඳව අධ්යයනය කරන යමෙකුට මෙය අතිශය වැදගත් ස්ථානයක් බව කිවයුතු කරුණකි.

හැංෂෞ නගරයේ භූගෝලීය පිහිටීම
හැංෂෞ යනු, චීනයේ නැඟෙනහිර ප්රදේශයේ පිහිටි ජෙජියැං පළාතේ අගනුවරයි. එය යැංසි ගංගා ඩෙල්ටාවේ වැදගත් නාගරික, ආර්ථික, අධ්යාපනික හා තාක්ෂණික මධ්යස්ථානයකි.කඳු, වැව්, ගංගා සහ ඇළ මාර්ගවලින් සමන්විත ස්වාභාවික පරිසරය මෙම නගරයට සුවිශේෂී අනන්යතාවක් ලබා දීම විශේෂත්වයකි.

පුරාණයේ සිට ම හැංෂෞ නගරයේ පිහිටීමේ පදනම සකස් වී තිබුණේ කෘෂිකර්මාන්තය, ජල ප්රවාහනය, වෙළෙඳාම සහ සංස්කෘතික හුවමාරුව සිදු වු වැදගත් භූමියක් ලෙසයි.විශේෂයෙන් හැංෂෞ නගරය හරහා ගලා යන චියැන්ටැං ගඟ (Qiantang River) එහි භූගෝලීය හා ආර්ථික වැදගත්කම තවදුරටත් ඉහළ නංවන බව කිවයුතු කරුණකි. එම ගඟේ ඇතිවන සුවිශේෂී වඩදිය රළ සංසිද්ධිය හැංෂෞහි වෙත පැමිණෙන ලක්ෂ සංඛ්යත සංචාරකයන්ට ආකර්ෂණයක් ගෙන දෙයි.

දකුණු සොං රාජවංශයේ අගනුවර
හැංෂෞහි ඉතිහාසයේ වඩාත්ම වැදගත් පරිච්ඡේදයක් වන්නේ දකුණු සොං රාජවංශ සමය බව කිවයුතුය.1127දී උතුරු චීනයේ ඇති වූ දේශපාලන හා යුදමය වෙනස්කම් හේතුවෙන් සොං රාජවංශයේ පාලනය දකුණු දෙසට මාරු වූ බව ඉතිහාසය අධ්යයනය කිරීමේදී පැහැදිලි වන කරුණකි. පසුව 1138දී හැංෂෞ එම රාජවංශයේ අගනුවර බවට පත්වූ බව ඉතිහාස කරුණුවලින් අනාවරණය වෙයි .
එවකට ලින්ආන් (Lin’an) නමින් ද හැඳින්වුණු මෙම නගරය, චීනයේ ප්රධාන දේශපාලන හා සංස්කෘතික මධ්යස්ථානයක් බවට පත්විය.විශේෂයෙන් මේ කාලයේදී නගරයේ වෙළෙඳාම, අත්කම් නිෂ්පාදනය, කලා කටයුතු, අධ්යාපනය සහ සාහිත්යය විශාල වශයෙන් දියුණු විය. නගරය දේශීය වෙළෙඳුන්ගේ පමණක් නොව, විදේශීය වෙළෙඳුන්ගේ ද අවධානය දිනාගත් මධ්යස්ථානයක් වූ බව ඉතිහාසය අධ්යයනය කිරීමේදී මැනවින් පැහැදිලි වෙයි.
13 වැනි සියවසේදී චීනයට පැමිණි ඉතාලි සංචාරක මාර්කෝ පෝලෝ හැංෂෞහි සෞන්දර්යය හා සමෘද්ධිය පිළිබඳ ප්රශංසා කළ බව නගරයේ ඉතිහාසය පිළිබඳ වාර්තාවල සඳහන් වී තිබීම විශේෂත්වයකි.

බටහිර වැව: හැංෂෞහි සංස්කෘතික සංකේතය
හැංෂෞ නගරය ලොව පුරා ප්රසිද්ධියට පත්වීමට ප්රධාන හේතුවක් වන්නේ බටහිර වැව හෙවත් ෂිහු (West Lake) ය.මෙම වැව සහ ඒ වටා ඇති කඳු, උද්යාන, පාලම්, දූපත්, චෛත්ය සහ පුරාණ ගොඩනැඟිලි චීනයේ සෞන්දර්ය සම්ප්රදායේ විශිෂ්ට නිර්මාණ ලෙස සැලකීම වැරදී නැත.
සියවස් ගණනාවක් පුරා චීන කවියන්, චිත්ර ශිල්පීන් සහ සාහිත්යකරුවන් මෙම පරිසරයෙන් ආභාසය ලබා ඇති බව චීන ඉතිහාසය අපට කියා දෙන හොඳම පාඩමකි.බටහිර වැව ආශ්රිත සංස්කෘතික භූදර්ශනය 2011 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීම තවත් විශේෂත්වයකි. මේ මඟින් මිනිසා සහ ස්වභාවධර්මය අතර සමතුලිත සම්බන්ධතාවක් ගොඩනැඟීම පිළිබඳ චීන සම්ප්රදායන් සහ උරුමයෙන්වලින් පිළිබිඹු වෙයි.
මහා ඇළ මාර්ගය සහ වෙළෙඳාමේ දියුණුව
හැංෂෞහි ඉතිහාසය පිළිබඳව විස්තර කිරීමේදී, චීනයේ මහා ඇළ මාර්ගය (Grand Canal) පිළිබඳව ද සඳහන් කිරීම වැදගත්ය. ඒ් මන්ද යත්, මේ මහා ඇළ මාර්ගය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කැර ඇති අතර, හැංෂෞ කොටස ද නගරයේ ඓතිහාසික අනන්යතාව පෙන්නුම් කරන ස්ථානයක් වී ඇත. බෙයිජිං සහ හැංෂෞ සම්බන්ධ කරන මෙම ඓතිහාසික ජල ප්රවාහන ජාලය, චීනයේ විවිධ ප්රදේශ අතර භාණ්ඩ, කෘෂිකාර්මික නිෂ්පාදන සහ සංස්කෘතික අදහස් හුවමාරු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් බව ඉතිහාස කරුණු අධ්යයනය කිරීමේදී මැනවින් පැහැදිලි වෙයි. විශේෂයෙන් මහා ඇළ මාර්ගය හරහා වෙළෙඳාම පුළුල් වීම නිසා හැංෂෞහි වෙළෙඳපොළ, අත්කම් කර්මාන්ත සහ නාගරික ජීවිතය වේගයෙන් දියුණු වී ඇති අන්දම සියසින් දැකගැනීමට ලැබීම භාග්යයකි.එමෙන්ම ජල මාර්ග ආශ්රිත ජනාවාස, වෙළෙඳ මධ්යස්ථාන සහ ප්රවාහන පහසුකම් නගරයේ ආර්ථික වර්ධනයට අද පදනමක් සපයා ඇති බව කිවයුතු කරුණකි.

සේද කර්මාන්තය සහ ලොන්ජිං තේ සංස්කෘතිය
හැංෂෞ යනු චීනයේ සේද නිෂ්පාදනය හා තේ සංස්කෘතිය සමඟ දිගු ඉතිහාසයක් ඇති නගරයකි.සේද රෙදි නිෂ්පාදනය, අත්කම් කර්මාන්ත සහ ඒ ආශ්රිත වෙළෙඳාම නගරයේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතික අනන්යතාවට ඝෘජු දායකත්වයක් සැපයීමට සමත් වී තිබේ.එසේම හැංෂෞ ප්රදේශය ලොන්ජිං (Longjing) හෙවත් ඩ්රැගන් වෙල් ග්රීන් ටී නමින් ප්රසිද්ධ හරිත තේ වර්ගය සඳහා ප්රසිද්ධියක් ලබා දී තිබේ.තේ වගාව, තේ සැකසීම සහ තේ පානය ආශ්රිත සම්ප්රදායන් චීන සංස්කෘතියේ වැදගත් අංගයක් වන අතර, මෙම සම්ප්රදායන් පුරාණ උරුමය වර්තමානය දක්වා රැගෙන යෑමට ද දායක වී තිබේ. විශේෂයෙන් මෙම සම්ප්රදායන් සියසින් දැක බලා ගැනීම සඳහා චීන සහ විදේශ සංචාරකයෝ හැංෂෞ ප්රදේශයට දිනපතාම පැමිණෙති. මෙම සම්ප්රදායික උරුමයන් සැලකිල්ලට ගනිමින් යුනෙස්කෝව හැංෂෞ නගරය 2012 දී අත්කම් සහ ජනකලා ක්ෂේත්රයේ නිර්මාණශීලී නගරයක් ලෙස නම් කෙළේ සේද හා තේ ආශ්රිත ශිල්පීය සම්ප්රදායන්වලට පිළිගැනීමක් ලබා දීමටය.
පුරාණ ඉතිහාසයෙන් නවීන තාක්ෂණයට
හැංෂෞ නගරයේ විශේෂත්වය වන්නේ එය පුරාණ ඉතිහාසය තුළ පමණක් සිරවී නොසිටීම බව කිවයුතුය. විශේෂයෙන් පැරණි සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන අතරම, නව තාක්ෂණය සහ නව ආර්ථික අවස්ථා දියුණු කිරීමට හැංෂෞ නගරය අද සමත් වී තිබේ.
කෙසේ නමුත් , අද වන විට හැංෂෞ නගරය චීනයේ නවීන ආර්ථික හා තාක්ෂණික සංවර්ධනයේ වැදගත් මධ්යස්ථානයක් බවට පත්ව තිබේ.විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය, විද්යුත් වාණිජ්යමය මෘදුකාංග සංවර්ධනය, මූල්ය සේවා සහ නවෝත්පාදන කර්මාන්ත එහි නවීන ආර්ථිකයේ ප්රධාන අංග බවට පත්ව ඇත.
2025 වසරේ හැංෂෞහි දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්රිලියන 2 . 30 ඉක්මවා ගිය බව නගරයේ නිල දත්ත වාර්තාවේ සඳහන් වෙයි. එය එම නගරයේ ආර්ථික පරිමාණය සහ වර්ධනය පිළිබඳ වැදගත් අදහසක් අපට ලබා දෙයි. එමෙන්ම ලොව ප්රකට විද්යුත් වාණිජ්ය සමාගමක් වන Alibaba Group සමඟ හැංෂෞ නගරයට ඇති සම්බන්ධතාව එහි ඩිජිටල් ආර්ථිකයේ වැදගත්කම පෙන්වන හොඳම උදාහරණයක් බව කිවයුතුය.
හැංෂෞ ලෝකයට ලබා දෙන පණිවුඩය

හැංෂෞහි ඉතිහාසය දෙස බැලීමේදී පුරාණ ශිෂ්ටාචාරයක් නවීන ලෝකය සමඟ සම්බන්ධ විය හැකි ආකාරය අපට මනාව පැහැදිලි කැර දෙයි. විශේෂයෙන් ලියැංෂු ශිෂ්ටාචාරයේ පුරාවිද්යාත්මක සාක්ෂි, දකුණු සොං රාජවංශයේ දේශපාලන හා සංස්කෘතික උරුමය, බටහිර වැවෙහි සෞන්දර්යය, මහා ඇළ මාර්ගයේ වෙළෙඳ වැදගත්කම සහ නවීන ඩිජිටල් ආර්ථිකය යන සියල්ල මෙම නගරයේ බහුමාන අනන්යතාව ලොවට කියන ප්රධාන සාධක බවට පත්ව තිබේ. එමෙන්ම ඉතිහාසය යනු, අතීතය පිළිබඳ මතකයක් පමණක් නොව, වර්තමාන සංවර්ධනයට මඟ පෙන්වන සම්පතක් බව හැංෂෞ පුරා ඇවිද ගිය අපට මැනවින් වැටහිනි.
පළමු කොටස –

සටහන –
චන්දන විජේකෝන්
