
අධික තදබදය, විනාශ වූ සනීපාරක්ෂක පද්ධති සහ උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ගාසා තීරයේ (Gaza Strip) අවතැන් කඳවුරුවල සිටින දරුවන් අතර මෙනින්ජයිටිස් (Meningitis) රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.
සාමාන්‍යයෙන් මසකට රෝගීන් 30ත් 50ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද, පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් රෝගීන් 272ක් වාර්තා වීමත් සමඟ ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත අනතුරු ඇඟවීමක් නිකුත් කැර ඇත.
ඉන් 108 දෙනෙකුම මාරාන්තික බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගීන් වන අතර, 2026 වසර ආරම්භයේ සිට මේ දක්වා මෙම රෝගයෙන් මරණ 15ක් සිදුව තිබේ.
පිරිසිදු ජලය සහ මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති කූඩාරම්වල ජීවත් වීමට සිදුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව ගාසා නගරයේ රන්ටිසි ළමා රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති. අධික උණ, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ සහිතව අලුත උපන් බිලිඳුන් ඇතුළු කුඩා දරුවන් විශාල පිරිසක් දිනපතා රෝහල්ගත කෙරෙන අතර, ඇතැම් දරුවන්ට සුවය ලැබීමෙන් පසුවද නැවත නැවතත් රෝගය වැළඳීමේ අවදානමක් මතුව ඇත.
මීට අමතරව රෝගය හේතුවෙන් ශ්‍රවණාබාධ සහ මොළයේ තරලය එක්රැස් වීම වැනි බරපතළ දිගුකාලීන සංකූලතාවලට දරුවන් ගොදුරු වෙමින් සිටින බවද වාර්තාවේ.
අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට 42ක් පමණ සම්පූර්ණයෙන්ම අවසන් වී තිබීමත්, සීමිත රසායනාගාර පහසුකම් හේතුවෙන් වෛරස් සහ බැක්ටීරියා ආසාදන වෙන්කර හඳුනා ගැනීමට අපහසු වීමත් නිසා ගාසා සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
තම දරුවන් මෙම මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීම සඳහා බිඳවැටී ඇති ජීවන තත්ත්වයන් සහ සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව වහාම මැදිහත් විය යුතු බව අවතැන් වූ දෙමාපියෝ ඉල්ලා සිටිති.

