Impartial news reporting for a stronger democratic society
මියගිය දිනුකගේ හදවත ‍14 හැවිරිදි දරුවෙක්ට බද්ධ කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි දිනුක සඳරුවන් නැමැති තරුණයාගේ හෘදය,  දුර්වල හෘදයකින් පෙළුණු 14 හැවිරිදි පිරිමි දරුවකුට  කොළඹ ජාතික රෝහලේ දී  පසුගිය දා (26) සිදු කළ ශල්‍යකර්මයකින් සාර්ථකව  බද්ධ කැර ඇත.

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දිනුක සඳරුවන් පසුගිය 23 වැනිදා සිදුවූ අවාසනාවන්ත යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබීය. වහාම දිවුලපිටිය රෝහලටත්, ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලටත් ඔහුව ඇතුළත් කෙරිණි. වෛද්‍යවරුන් දිනුකගේ ජීවිතය බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවද, අවාසනාවන්ත ලෙස ඔහුගේ මොළය මියගොස් ඇති බවට තහවුරු විය.

තම එකම පුතුගේ වියෝව දරාගත නොහැකි වේදනාවක් මැද වුවද, දිනුකගේ ශරීර අවයව තවත් ජීවිත බේරාගැනීම වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් උතුම් තීරණයකට එළැඹුණහ.

ඒ අනුව, දිනුකගේ හදවත, අක්මාව සහ වකුගඩු කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍ය කණ්ඩායම් සූදානම් විය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අවයව ගුවන් මඟින් කොළඹට රැගෙන ඒමට ගත් උත්සාහය ව්‍යර්ථ වුවද, මනුෂ්‍යත්වයේ මෙහෙයුම නතර වූයේ නැත. ශ්‍රී ලංකා පොලිසියේ ක්ෂණික සහ විශේෂ රථවාහන සහාය ඇතිව, මාර්ගය ඔස්සේ අතිශය වේගයෙන් සහ ආරක්ෂිතව එම අවයව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍යවරු සමත් වූහ.

මෙලෙස රැගෙන ආ දිනුකගේ හදවත, ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවකුට හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පැය 7කට අධික කාලයක් තිස්සේ සවස 5.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 පමණ දක්වා මෙම සැත්කම සිදු කැර ඇති අතර, දරුවා මේ වන විට ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හෘදය ගුවනින් රැගෙන යෑමට සූදානම් කළ හෙළිකොප්ටරය අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන්ගත කිරීමට නොහැකි වූ අවස්ථාවේ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. සේනාධිර මහතාගේ මැදිහත්වීමෙන් මාර්ගය කෙටි වේලාවකට වසා විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ හෘදය නියමිත වේලාවට රැගෙන ඒමට කටයුතු කැර තිබුණි.

තව දින කිහිපයක් ජීවත් කරවීමට නොහැකි තත්ත්වයක සිටි 14 හැවිරිදි පිරිමි දරුවකුට පැය 7කට අධික කාලයක් තිස්සේ සිදු කළ සැත්කම සාර්ථක වී ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකාවේ පළමු හෘද බද්ධ සැත්කම මහනුවර රෝහලේදී කාන්තාවකට සිදු කැර තිබුණි.

දිනුකගේ නිසල දේහය හෙට දිනයේ මිහිදන් වුවද, ඔහුගේ උණුසුම් හදවත පාදුක්කේ දරුවකුගේ ළය තුළ තවත් බොහෝ කාලයක් ජීවමානව ස්පන්දනය වනු ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp