Impartial news reporting for a stronger democratic society
සුරේෂ් සල්ලේ ගොනු කළ පෙත්සමේ තීන්දුව කල් යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තැබීමට නිකුත් කැර ඇති රැඳවුම් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේ ගොනු කැර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීම, ජනවාරි 28 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය  පෙරේදා  (27) නියෝග කෙ‌ෙළේය.

අභියාචනාධිකරණ සභාපති රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම මෑතකදී දීර්ඝ ලෙස සලකා බලනු ලැබීය.

එම විනිසුරු මඩුල්ල අදාළ තීරණය අද දින ප්‍රකාශයට පත් කරන බව මීට පෙර දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විනිසුරු අසුන වෙත පැමිණියේ නැත.

එම විනිසුරු මඩුල්ලේම සාමාජිකයකු වන විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේ, අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබූ බවයි.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා සහ තවත් කිහිප දෙනෙකු නම් කැර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට අදාළ විමර්ශන සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතියට පටහැනි බව සුරේෂ් සල්ලේ සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබුණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp