Impartial news reporting for a stronger democratic society
ජපානයේ ‘නිල ආරක්ෂක ආධාර වැඩසටහන’ යටතේ ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 2.08ක් වටිනා නිරීක්ෂණ යාත්‍රා

ජපානය  රජය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක ආධාර රාමුව යටතේ, යෙන් බිලියන 1ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.08ක) වටිනාකමකින් යුත් නිරීක්ෂණ යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දීමට අදාළ ගිවිසුමට පසුගිය දා  කොළඹ දී  අත්සන් කරනු ලැබිණි.

මෙම ආධාර ලබා දීමට අදාළ ලිපි හුවමාරුවට (Exchange of Notes), ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ (ISOMATA Akio) මහතා  පෙරේදා (10) අත්සන් තබන ලදී.

ජපානයේ ‘නිල ආරක්ෂක ආධාර වැඩසටහන’ (Official Security Assistance program) යටතේ, දෘඩ බඳක් සහිත පිම්බිය හැකි යාත්‍රා (rigid-hulled inflatable boats) ලබා දීම මෙම  ගිවිසුම මඟින්  සිදු වන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කැර ඇති බව Cyber World Press වාර්තා කරයි.

ඉන්දියන් සාගරයේ “මුහුදු මාර්ග ඔස්සේ උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථානයක් ” ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙම උපකරණ මඟින් නාවික හමුදාවේ “නිරීක්ෂණ කටයුතු, නීතිය ක්‍රියාත්මක කිරීම, මෙන්ම සෝදිසි කිරීම් සහ මුදාගැනීම් සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ” ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සඳහන් කරයි.

මීට අමතරව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ද, එම වැඩසටහන යටතේම යෙන් මිලියන 500ක් වටිනා නිරීක්ෂණ ඩ්‍රෝන යාත්‍රා (surveillance drones) ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දීමට දෙරට එකඟතාව පළ කැර තිබුණි. කලාපීය ආරක්ෂක අභියෝග වෙනස් වෙමින් පැවතීම, ඉන්දියන් සාගරයේ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඉහළ යෑම සහ මුහුදේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තර්ජන වර්ධනය වීම වැනි පසුබිමක් තුළ මෙම ආධාර ලබා දීම සිදු කෙරේ.

චන්දන විජේකෝන්

විසින්

Follow by Email
LinkedIn
Share
WhatsApp