Impartial news reporting for a stronger democratic society
චීන සම්ප්‍රදාය හා බටහිර ගෘහ නිර්මාණ ශිල්පය එක් කළ ලියුගේ ටීහාඕ නිවෙස

Liu’s Tihao නිවෙසේ ඉදිරිපස

චීනයේ පැරණි නගර අතර විශේෂ ස්ථානයක් හිමි කැර ගන්නා නන්ෂුන් (Nanxun) නගරයේ පිහිටි ලියුගේ ටීහාඕ (Liu’s Tihao) නිවෙස, චීන සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය හා බටහිර යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය අපූරු ලෙස ඒකාබද්ධ කළ ඓතිහාසික ගොඩනැගිල්ල සියසින් දැක බලා ගැනීමටත්, එහි ඉතිහාසය ගැන අවබෝධයක් ලබා ගැනීමටත් Hanhzhou සංචාරයේදී පසුගිය දා මට හැකි විය. රතු ගඩොල්වලින්  මෙම ගොඩනැගිල්ල නිම කැර තිබීමත් , විශේෂිත වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රැසක් තිබීම නිසාත් එය “රතු නිවෙස” (Red House) නමින්  චීන ජනතාව අතර  අද ප්‍රසිද්ධියට  පත් වී තිබේ .

මෙම නිවෙස හුදෙක් ධනවත් පවුලක් ජීවත් වූ මන්දිරයක් පමණක්ම නොවේ. එය චීනයේ වෙළෙඳ සමෘද්ධිය, විදේශීය සංස්කෘතික බලපෑම්, සාම්ප්‍රදායික වටිනාකම් සහ නවීනත්වය කරා යොමු වූ සමාජ පරිවර්තනය පිළිබඳ හරි අපුරු කතාවක් අපට කියාපායි.

ලියුගේ ටීහාඕ නිවෙස පිහිටි ස්ථානය

ලියුගේ ටීහාඕ නිවෙස පිහිටා ඇත්තේ චීනයේ නැඟෙනහිර ප්‍රදේශයේ ෂෙජියැං (Zhejiang) පළාතේ හුජෝ (Huzhou) නගරයට අයත් නන්ෂුන් පැරණි නගරය තුළය.

නන්ෂුන්  නගරය ඇළ මාර්ග, ගල් පාලම්, සාම්ප්‍රදායික නිවාස සහ ඓතිහාසික උද්‍යාන  නිසා ප්‍රසිද්ධියට පත්  පැරණි නගරයකි. එහි සංවර්ධනයට සේද කර්මාන්තය හා වෙළෙඳාම විශාල දායකත්වයක් ලබා දී  තිබේ. විශේෂයෙන්ම සේද නිෂ්පාදනය හා වෙළෙඳාමෙන් ධනය උපයාගත් පවුල් නිසා නගරයේ සමාජ හා ආර්ථික ජීවිතය සමෘද්ධිමත් වු බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි.

මෙවැනි පසුබිමක් තුළ ඉදිකරන ලද ලියුගේ ටීහාඕ නිවෙස, නන්ෂුන් නගරයේ වෙළෙඳ පවුල්වල ධනය, කලාත්මක රුචිකත්වය සහ සංස්කෘතික විවෘතභාවය නිරූපණය කරන වැදගත් උදාහරණයක් බව කිවයුතුය.

නිවෙසේ ඉතිහාසය සහ එහි හිමිකරු

මෙම විශාල  මන්දිරය ඉදිකරන ලද්දේ නන්ෂුන්හි ප්‍රසිද්ධ ධනවත් වෙළෙඳ පවුලක්  ලෙස  ප්‍රසිද්ධියට පත්  ලියු පවුලේ සාමාජිකයකු වන ලියු තිචිං (Liu Tiqing) වෙනුවෙනි. ඔහු ලියු යොං (Liu Yong) නමැති ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකි.

ඓතිහාසික වාර්තා අනුව, ලියු තිචිං 1905 වසරේදී මෙම නිවෙස ඉදිකිරීම සඳහා ඉඩම මිලදී  ඇත. එම වසරේම ඉදිකිරීම් ආරම්භ කැර, 1908 වසරේදී ඒවා අවසන් කරන ලදී. ඒ අනුව මෙම ගොඩනැගිල්ල චීනයේ චිං රාජවංශයේ අවසාන සමයේ ඉදිකරන ලද ඓතිහාසික මන්දිරයක් කිවයුතුය.

එම යුගය චීනයේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් සිදුවෙමින් පැවති කාලයකි. විදේශීය වෙළෙඳ සබඳතා පුළුල් වීමත් සමඟ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ සහ ජීවන රටා පිළිබඳව ධනවත් චීන පවුල් අතර උනන්දුවක් සහ තරගයක් ඇති වී තිබිණි.

ලියුගේ ටීහාඕ නිවෙසේ ගෘහ නිර්මාණ ශිල්පය තුළින් එම පරිවර්තනය පැහැදිලිව දැකගත හැකිය.

ලියු පවුලේ ආර්ථික සමෘද්ධිය සහ සේද කර්මාන්තය

ලියුගේ ටීහාඕ නිවෙසේ ඉතිහාසය තේරුම් ගැනීමට  අපය නම්, නන්ෂුන් නගරයේ සේද කර්මාන්තයේ ඉතිහාසය  ගැන අවබෝධයක්  ලබා ගැනීම  වැදගත් වේ.

නන්ෂුන්  නගරය යනු, චීනයේ සේද නිෂ්පාදනය හා වෙළෙඳාමෙන් සමෘද්ධියට පත් වූ ප්‍රදේශයකි. මෙහි ව්‍යාපාරික පවුල් සේද නිෂ්පාදනය, වෙළෙඳාම, මූල්‍ය කටයුතු සහ දේපොළ ආයෝජන තුළින් විශාල ධනයක් රැස් කළහ.

ලියු පවුල ද එවැනි ප්‍රබල ව්‍යාපාරික පවුලකි. නන්ෂුන්හි ප්‍රකට ධනවත් පවුල් හතර හැඳින්වීමට භාවිත වූ “ සි ෂියැං” (Four Elephants) යන නාමය යටතේ ලියු පවුල ප්‍රමුඛ ස්ථානයක් හිමි කැරගෙන ඇති බව  ඉතිහාසය අධ්‍යයනය කිරිමේදී   පැහැදැලි  වෙයි. ලියු යොංගේ පවුලේ ධනයට සේද වෙළෙඳාම වැදගත් පදනමක් වූ අතර, පවුලේ ව්‍යාපාරික කටයුතු වෙනත් ක්ෂේත්‍ර කරා ද ව්‍යාප්ත  වී ඇත.

මෙවැනි පවුල් තම ධනය ව්‍යාපාරික කටයුතුවලට පමණක් සීමා නොකළහ. ඔවුහු විශාල නිවාස, උද්‍යාන, කලා නිර්මාණ සහ සංස්කෘතික කටයුතු සඳහා ද ආයෝජනය කළහ. ලියුගේ ටීහාඕ නිවෙස එම සමාජ පසුබිම පිළිබඳ වැදගත් සාක්ෂියකි.

චීන හා බටහිර ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු සංකලනය

ලියුගේ ටීහාඕ නිවෙසේ විශේෂත්වය වන්නේ එහි ගොඩනැගිලි සැලසුම තුළ චීන සහ බටහිර ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ එකට යොදාගෙන තිබීමයි.සාමාන්‍යයෙන් ජියැංනාන් (Jiangnan) ප්‍රදේශයේ සාම්ප්‍රදායික නිවාසවල අභ්‍යන්තර මළුව, දැවමය කුලුනු, ශාලා සහ උළු සෙවිලි කළ වහල ප්‍රමුඛ වේ. එහෙත් ලියුගේ ටීහාඕ නිවෙසේ දී මෙම සාම්ප්‍රදායික සැලසුම් සමඟ බටහිර යුරෝපීය ගෘහ නිර්මාණ අංග ද එක් කැර ඇත.

මෙම නිවෙසේ විශේෂ ලක්ෂණ කිහිපයක් හුජෝ (Huzhou) නගරයේ  කළ සංචාරයේදී මගේ අවධානයට ලක් විය .

රතු ගඩොල්වලින් ඉදිකළ ගොඩනැගිලි : නිවෙසේ බටහිර ශෛලියේ කොටස් සඳහා රතු ගඩොල් යොදාගෙන තිබීම එහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම රතු පැහැය නිසාම එය “රතු නිවෙස” ලෙස හැඳින්වේ.

ආරුක්කු සහ රෝම ශෛලියේ කුලුනු : ගොඩනැගිල්ලේ ඇතැම් කොටස්වල යුරෝපීය රෝම ශෛලියේ ආරුක්කු සහ කුලුනු දක්නට ලැබේ.

චීන සාම්ප්‍රදායික කැටයම් : ගොඩනැගිල්ලේ ගඩොල්, දැව සහ ගල්වලින් නිම කළ අලංකාර කැටයම් චීන කලා සම්ප්‍රදාය පිළිබිඹු කරයි.

ශාලා සහ අභ්‍යන්තර මළුව : නිවෙසේ මධ්‍යම කොටස සාම්ප්‍රදායික චීන ගෘහ සැලසුම අනුව සකස් කැර තිබේ.

මෙම අංග එකට එක්වීම නිසා ලියුගේ ටීහාඕ නිවෙස සාමාන්‍ය බටහිර ශෛලියේ මන්දිරයකින් වෙනස් වේ. එය බටහිර පෙනුමක් සහිත ගොඩනැගිල්ලක් වුවද, එහි අභ්‍යන්තර සැලසුම හා කලාත්මක විස්තර තුළ චීන සංස්කෘතික අනන්‍යතාව  ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.

නිවෙසේ කොටස් තුන සහ ඒවායේ විශේෂත්වය

ඓතිහාසික විස්තර අනුව, ලියුගේ ටීහාඕ නිවෙස දකුණු, මධ්‍යම සහ උතුරු වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදා සැලසුම් කැර තිබේ. එම කොටස්වල ගෘහ නිර්මාණ ලක්ෂණ එකිනෙකට වෙනස් වුවද, ඒවා සමස්ත මන්දිරයේ එකිනෙකට සම්බන්ධ වූ සැලසුමක් නිර්මාණය කරයි.

මධ්‍යම කොටස

මධ්‍යම කොටස සාම්ප්‍රදායික චීන ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව සකස් කැර තිබේ. එහි ශාලා, ප්‍රධාන කාමර සහ අභ්‍යන්තර අවකාශ මඟින් පවුලේ සමාජ ජීවිතය සහ සම්ප්‍රදායික වටිනාකම් පිළිබිඹු වන අන්දමින් නිර්මාණය වී තිබේ.

මෙවැනි නිවාසවල ප්‍රධාන ශාලාව පවුලේ වැදගත් හමුවීම් සහ උත්සව සඳහා භාවිත වූ ස්ථානයක් විය හැකිය. කෙසේ වෙතත්, මෙම නිවෙසේ එක් එක් කාමරය නිශ්චිත භාවිතයන් සඳහා යොදා ගෙන තිබු බව  අනුමාන කළ හැකිය.

උතුරු කොටස

උතුරු කොටස නිවෙසේ බටහිර ගෘහ නිර්මාණ ලක්ෂණ වඩාත් පැහැදිලිව දැකගත හැකි ප්‍රදේශයකි. රතු ගඩොල්, ආරුක්කු, කුලුනු සහ අලංකාර කැටයම් එහි දෘශ්‍යමය ආකර්ෂණය වැඩි කරයි.

දකුණු කොටස

දකුණු කොටස ද චීන සහ බටහිර ගෘහ නිර්මාණ ලක්ෂණ මුසු වූ සැලසුමකින් සමන්විත වේ. මෙම කොටස් එකට ගත් විට නිවෙසේ සමස්ත සැලසුම තුළ දේශීය සම්ප්‍රදාය සහ විදේශීය ආභාසය අතර ඇති සම්බන්ධතාව මැනවින් පැහැදිලි වේ.

ඓතිහාසික වැදගත් කරුණක් : වර්තමානයේ දක්නට ලැබෙන සියලුම කොටස් මුල් ඉදිකිරීමේ සිට සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතින බව උපකල්පනය කළ නොහැකිය. ඇතැම් ඓතිහාසික විස්තර අනුව, 1937 වසරේ යුද සමයේදී මධ්‍යම කොටසේ ප්‍රධාන ශාලාවට හානි සිදුවී තිබේ. එබැවින් වර්තමාන ගොඩනැගිලි සහ මුල් සැලසුම අතර යම් ආකාරයක වෙනස්කම් හඳුනා ගත හැකිව තිබේ.

අලංකාර කැටයම් සහ කලාත්මක නිර්මාණ

ලියුගේ ටීහාඕ නිවෙසේ වටිනාකම එහි විශාලත්වයෙන් පමණක් තීරණය  කළ නොහැකිය. ගොඩනැගිල්ලේ විවිධ කොටස්වල දක්නට ලැබෙන කලාත්මක අලංකරණය ද එහි වැදගත් අංගයකි.

ගඩොල් කැටයම්, දැව කැටයම් සහ ගල් කැටයම් නිවෙසේ අලංකාරය වැඩි කරන අතර, ඒවා තුළින් එම යුගයේ කලාකරුවන්ගේ නිපුණතාව ද හඳුනාගත හැකි වීම වැදගත්ය.

චීන සම්ප්‍රදායික අලංකරණ කලාවේ මල්, ශාක සහ සංකේතාත්මක රූප භාවිත කිරීම සාමාන්‍ය ලක්ෂණයකි. ලියුගේ ටීහාඕ නිවෙසේ බටහිර ශෛලියේ කොටස්වල පවා චීන මල් රටා යොදා තිබීම, ගෘහ නිර්මාණ ශිල්ප දෙක අතර ඇති නිර්මාණාත්මක සම්බන්ධතාව මැනවින් පැහැදිලි කරයි.

මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, බටහිර ගෘහ නිර්මාණ අංග යොදාගත් පමණින් නිවෙසේ චීන අනන්‍යතාව අහිමි වී නොතිබීමයි. ඒ වෙනුවට දේශීය කලාත්මක අංග බටහිර ගොඩනැගිලි සැලසුම සමඟ සම්බන්ධ කිරීමෙන් නව නිර්මාණාත්මක ස්වරූපයක් බිහි කැර ඇත.

නිවෙස සහ එහි උද්‍යාන පරිසරය

චීන සාම්ප්‍රදායික නිවාසවල උද්‍යාන සහ අභ්‍යන්තර මළුවලට විශේෂ ස්ථානයක් හිමි වේ. ඒවා විවේකය සඳහා පමණක් නොව, ස්වභාවධර්මය හා මිනිසා අතර සම්බන්ධතාව නිරූපණය කරන අවකාශ ලෙස ද සැලකේ.ලියුගේ ටීහාඕ නිවෙසේ පිටුපස ප්‍රදේශය ද අතීතයේ විවේක හා විනෝදාස්වාද කටයුතු සඳහා යොදාගෙන තිබූ බව සඳහන් වේ. ඇතැම් වාර්තාවල එහි තණකොළ සහිත ප්‍රදේශයක් ටෙනිස් ක්‍රීඩාංගණයක් ලෙස භාවිත වූ බවත්, කිරි ගවයන් ඇති කළ ස්ථානයක් තිබූ බවත් සඳහන් වේ. වර්තමාන විස්තරවල උද්‍යාන අංග, පොකුණු සහ අලංකාර භූමි සැලසුම් පිළිබඳව ද තොරතුරු දැක්වේ.

මෙම විස්තරවලින් පෙනී යන්නේ එම නිවෙස එදා පැවති චීන ධනවත් පවුලක ජීවන රටාවට පමණක් සීමා නොවී, විදේශීය විනෝදාස්වාද සම්ප්‍රදායන් ද පිළිගත් ස්ථානයක් වූ බවයි.

නන්ෂුන් නගරයේ ඉතිහාසය සමඟ ඇති සම්බන්ධය

ලියුගේ ටීහාඕ නිවෙසේ ඉතිහාසය නන්ෂුන් නගරයේ පුළුල් ඉතිහාසයෙන් වෙන් කළ නොහැකි බව ඉතිහාස කරුණුවලින් පැහැදිලි වෙයි.

මෙම නගරය සියවස් ගණනාවක් පුරා ජල මාර්ග, වෙළෙඳාම සහ සාම්ප්‍රදායික කර්මාන්ත සමඟ සම්බන්ධ වී ඇත. චීනයේ මහා ඇළ මාර්ග පද්ධතිය දකුණු හා උතුරු ප්‍රදේශ අතර භාණ්ඩ ප්‍රවාහනය සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දි ඇති බව  ඉතා පැහැදිලි කරුණකි. එහි ජියැංනාන් කොටස නන්ෂුන් ප්‍රදේශයේ ඓතිහාසික පසුබිමට ද අදාළ  වෙයි.

එවැනි වෙළෙඳ පරිසරයක් තුළ නන්ෂුන්හි ධනවත් පවුල් දේශීය සම්ප්‍රදායන් ආරක්ෂා කරන අතරම විදේශීය ආභාසයන් ද පිළිගත් බව ඉතා පැහැදිලිය. ලියුගේ ටීහාඕ නිවෙසේ දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පීය සංකලනය එම සංස්කෘතික හුවමාරුව පිළිබඳ වැදගත් නිදසුනක් අපට  සපයයි.

ඓතිහාසික උරුමයක් ලෙස ලියුගේ ටීහාඕ නිවෙස

ලියුගේ ටීහාඕ නිවෙසේ වටිනාකම එහි ගෘහ නිර්මාණ ශිල්පයට පමණක් සීමා නොවේ. එය චීනයේ සමාජ ඉතිහාසය, ව්‍යාපාරික පවුල්වල වර්ධනය සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳව තොරතුරු සපයන ස්ථානයක් බව කිවයුතු කරුණකි.

2013 මාර්තු 5 වැනිදා චීන රාජ්‍ය මණ්ඩලය විසින් එය ඇතුළත් වන සේද කර්මාන්තයට සම්බන්ධ ඓතිහාසික ගොඩනැගිලි සමූහය ජාතික මට්ටමේ වැදගත් සංස්කෘතික උරුමයක් ලෙස නම් කරන ලදී. පසුව 2014 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළ චීනයේ මහා ඇළ මාර්ග උරුම පද්ධතිය සමඟ ද නන්ෂුන් ප්‍රදේශයේ ඓතිහාසික සම්බන්ධතා පවත්වා තිබේ. මෙහිදී ලියුගේ ටීහාඕ

නිවෙස පිළිබඳ තත්ත්වය සහ සමස්ත මහා ඇළ මාර්ග උරුමයේ තත්ත්වය වෙන් වෙන්ව තේරුම් ගැනීම වැදගත්ය.

මෙවැනි ස්ථාන සංරක්ෂණය කිරීමෙන් අනාගත පරපුරට පැරණි ගොඩනැගිලිවල සැලසුම්, ඉදිකිරීම් තාක්ෂණය, කලාත්මක නිර්මාණ සහ එම යුගයේ ජන ජීවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමට  චීන රජය ගෙන ඇති  දිර්ඝකාලීන  සැලසුම අගය කළයුතුය.

ලියුගේ ටීහාඕ නිවෙසෙන් ලෝකයට ලැබෙන පණිවුඩය

ලියුගේ ටීහාඕ නිවෙස දෙස බලන විට අපට හඳුනාගත හැකි වැදගත් කරුණක් වන්නේ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් වෙනත් සංස්කෘතීන්ගෙන් දේවල් ඉගෙන ගැනීමට ඇති හැකියාවයි.

මෙම ගොඩනැගිල්ලේ චීන සාම්ප්‍රදායික සැලසුම හා බටහිර ගෘහ නිර්මාණ අංග එකට පැවතීමෙන් පෙනී යන්නේ සංස්කෘතික හුවමාරුව මඟින් නව නිර්මාණ බිහි කළ හැකි බවයි. එමෙන්ම වෙළෙඳාම හා ආර්ථික සමෘද්ධිය සමාජයේ කලාත්මක සහ සංස්කෘතික ජීවිතයට ද බලපෑම් කළ හැකි බව ද එය පෙන්වා දෙයි.

අද ලෝකයේ පැරණි නගර වේගයෙන් නවීකරණය වන විට, මෙවැනි ඓතිහාසික ගොඩනැගිලි සංරක්ෂණය කිරීම තවදුරටත් වැදගත් වේ. මන්ද, ඒවා අතීතය පිළිබඳ මතකයන් පමණක් නොව, සමාජයක අනන්‍යතාව සහ සංස්කෘතික අඛණ්ඩතාව පෙන්වන ජීවමාන සාක්ෂි වන බැවිනි.

හයවැනි කොටස

සටහන-

චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp