
අමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිත්ර පාක්ෂිකයන් සමඟ මිලිටරි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, අමෙරිකා එක්සත් ජනපදයේ අභ්යවකාශ ක්ෂේත්රයේ යුද ක්රියාකාරකම් සඳහා ශ්රී ලංකාවේ සන්නද්ධ හමුදා සම්බන්ධ කැර ගැනීම පිළිබඳව ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කැර සිටි.


ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් වෛද්ය ජී.වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති නිවේදනයක තවදුරටත් මෙසේ සඳහාන් වේ.
ශ්රී ලංකා සන්නද්ධ හමුදා, අමෙරිකා එක්සත් ජනපදයේ සහ එහි මිත්ර පාක්ෂිකයන්ගේ සන්නද්ධ හමුදා සමඟ ක්රමයෙන් ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැවතත් ජනතාවට අනතුරු අඟවයි. මෙම ක්රියාවලිය 2017 වසරේ අත්සන් තැබූ ‘අත්පත් කැර ගැනීමේ සහ අන්යෝන්ය සේවා සැපයීමේ ගිවිසුම’ (ACSA) මත පදනම් වී ඇති අතර, ඊට මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමඟ ඇති කැරගත් ‘රාජ්ය හවුල්කාරිත්ව වැඩසටහන’ පිළිබඳ අවබෝධතා ගිවිසුම ද ඇතුළත් වේ. තවද, මැද පෙරදිග කලාපයේ අමෙරිකා එක්සත් ජනපදය මෙහෙයවන මෙහෙයුම් සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහභාගී වීමත්, ඒකාබද්ධ අභ්යාස සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ ඒකපාර්ශ්විකව පනවා ඇති සමුද්රීය සම්බාධක ක්රියාත්මක කිරීමට දායක වීම ද මේ යටතේ සිදු වෙයි.
භයානක නව හැරවුමක්
මෙම තත්ත්වය දැන් වඩාත් බරපතළ අතකට හැරී තිබේ. මෙම මස මුලදී, ලුතිනන් කර්නල් ෂුම්පෙයි ෆුජිමුරා ගේ නායකත්වයෙන් යුත් අමෙරිකා එක්සත් ජනපද අභ්යවකාශ බලකායේ පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම පිරිස ශ්රී ලංකා ගුවන් හමුදාපතිවරයා, ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී මෙන්ම, බටහිර සහ දකුණු නාවික විධානයන්හි නිලධාරීන් ද හමුවිය. වාර්තා වන පරිදි, මෙම සාකච්ඡා “අභ්යාවකාශ ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, චන්ද්රිකා සන්නිවේදනය සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව” වටා කේන්ද්රගත වී තිබිණි.
මෙම සංචාරය සිදු වූයේ, වෙරළ ආසන්නයේ වේගවත් මෙහෙයුම් සිදු කිරීම සඳහා නිර්මාණය කැර ඇති අමෙරිකා එක්සත් ජනපද යුද නෞකාවක් (‘USS Canberra’) දෙවැනි වරටත් ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවට සමගාමීවය. මෙම සිදුවීම් සමස්ථයක් ලෙස ගත්කළ, ඉන්දු-පැසිෆික් කලාපය තුළ එක්සත් ජනපදයේ මිලිටරි ව්යුහය වෙත ශ්රී ලංකාව වඩාත් ගැඹුරට ඇද දමමින් සිටින බව පෙන්නුම් කරයි.
‘පැසිෆික් කලාපීය අභ්යවකාශ බලකාය’ පවසන්නේ එහි අරමුණ ඉන්දු-පැසිෆික් කලාපය තුළ තමන්ගේ ‘අභ්යාවකාශ ආදිපත්ය පවත්වා ගැනීම’ බවයි. ‘අභ්යාවකාශ ආදිපත්ය’ යන්නෙන් අදහස් කරන්නේ එක්සත් ජනපදයට සහ එහි සගයින්ට ‘බාහිර මැදිහත්වීම්’ නොමැතිව අභ්යාවකාශයේ නිදහසේ ක්රියාත්මකවීම සහතික කිරීම වන අතරම, විරුද්ධවාදීන්ට ඒ හා සමානව ක්රියා කිරීමේ නිදහස ප්රතිකේෂ්ප කිරීමයි. මෙය ගුවන් අවකාශයේ ආදිපත්ය හා සමාන තත්ත්වයකි. එය නිතැතින්ම යුධමය අරමුණක් වන අතර, එය අභ්යවකාශය සාමකාමීව භාවිතා කිරීම කෙරෙහි නොව අභ්යවකාශය තුළ සහ ඒ හරහා ගැටුම් සඳහා සූදානම් වීම කෙරෙහි යොමු වීමකි.
අභ්යවකාශය සාමකාමීව පැවතිය යුතුය
අමෙරිකා එක්සත් ජාතීන්ගේ රාමුව තුළ, පාර්ශ්වකරුවකු ලෙස ශ්රී ලංකාව ද බැඳී සිටින, 1967 අභ්යවකාශ ගිවිසුම මඟින්, අභ්යවකාශය ගවේෂණය කිරීම සහ භාවිත කිරීම සියලු රටවල යහපත උදෙසා සිදු විය යුතු බවත්, සඳ සහ වෙනත් ආකාශ වස්තූන් භාවිතා කළ යුත්තේ සාමකාමී අරමුණු සඳහා පමණක් බවත් තහවුරු කරයි. අභ්යවකාශයේ න්යෂ්ටික අවි ස්ථානගත කිරීම ද එම ගිවිසුම මඟින් තහනම් කරනු ලබයි.
චීනය, රුසියාව සහ නොබැඳි ව්යාපාරයට අයත් රටවල් කිහිපයක්, ‘අභ්යවකාශයේ ආයුධ ස්ථානගත කිරීම වැළැක්වීම පිළිබඳ ගිවිසුම’ නම් නීත්යානුකූලව බැඳී පවතින ගිවිසුමක් හරහා මෙම මූලධර්මය ශක්තිමත් කිරීමට උත්සාහ දරා ඇත. මෙම ගිවිසුම මඟින් අභ්යවකාශයේ පවතින වස්තූන් ඉලක්ක කැර ගනිමින් බලය යෙදවීම හෝ බලය යොදන බවට තර්ජනය කිරීම තහනම් කිරීමට අපේක්ෂා කෙරේ. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් මෙවැනි ගිවිසුමක් ඇති කැර ගැනීමේ ප්රයත්නයන්ට බාධා පමුණුවා ඇත.
එබැවින්, ලුතිනන් කර්නල් ෆුජිමුරාගේ මෙම සංචාරය මඟින්, අමෙරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාව තම යුදමය අභ්යවකාශ වැඩසටහන්වලට සම්බන්ධ කැර ගැනීමට උත්සාහ දරන බවට ප්රබල ඉඟියක් ලබා දෙයි. චීනය, රුසියාව, ඉරානය සහ වෙනත් රටවල් ඉලක්ක කැර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය සිදු කරන අභ්යවකාශ යුද සූදානමේ එක් පුරුකක් බවට ශ්රී ලංකාව පත් නොවිය යුතුය.
ඊශ්රායල ‘අභ්යාවකාශ මධ්යස්ථානය” පිළිබඳ යෝජනාව
ශ්රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ අභ්යවකාශ මධ්යස්ථානයක් පිහිටුවීමට ඊශ්රායලය සහ වෙනත් විදේශ බලවතුන් යෝජනා කැරඇති බවට පළවන වාර්තා පිළිබඳව දඩි අවධානය යොමුකළ යුතුව ඇත. ඊශ්රායලය සිය යුද සහ ආරක්ෂණ රාමුව අභ්යවකාශ ක්ෂේත්රය දක්වා පුළුල් කරමින් සිටී. එසේම, අභ්යවකාශය ආශ්රිත ක්රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන් නේටෝ සංවිධානය සමඟ ද සමීපව කටයුතු කරයි.
මෙම යෝජනාව, ශ්රී ලංකාව තුළ ඊශ්රායලය මීට පෙර සිදු කළ ක්රියාකාරකම්වලින් වෙන්ව හුදකලාව සැලකිය නොහැක. ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්රශ්න කරන්නේ යෝජිත මෙම “අභ්යවකාශ මෂ්යස්ථානය “ ශ්රී ලංකාව තුළ ඊශ්රායලයේ කටයුතු පුළුල් කිරීමේ ක්රියාමාර්ගවල තවත් දිගුවක් ද යන්නයි.
නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි, ඊශ්රායලයේ පාලනයට යටත් හෝ ඊශ්රායලය සමඟ සම්බන්ධතා ඇති “අභ්යවකාශ මධ්යස්ථානයක් ” මඟින් චීනය, ඉරානය සහ රුසියාව වැනි ශ්රී ලංකාවට මිත්රශීලී රටවලට බරපතළ ප්රතිවිපාක ඇති විය හැකිය. එමඟින් ශ්රී ලංකාවේ භූමිය විදේශීය හමුදා සහ බුද්ධි මෙහෙයුම් සඳහා උපායමාර්ගික මධ්යස්ථානයක් බවට පත් විය හැකිය.
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉල්ලීම්
ශ්රී ලංකා ආණ්ඩුව පහත කරුණු වහාම හෙළිදරව් කළ යුතු බවට ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා සිටී:
- අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්රායලය සහ වෙනත් විදේශීය බලවතුන් සමඟ ශ්රී ලංකාව පවත්වාගෙන යන හමුදා සහයෝගීතාවයේ පූර්ණ විෂය පථය,
- ACSA (අත්පත් කැර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම) සහ රාජ්ය හවුල්කාරිත්ව වැඩසටහන (State Partnership Programme) යටතේ ඇති වූ සියලුම ගිවිසුම්, අවබෝධතා, ඒකාබද්ධ අභ්යාස, බුද්ධි තොරතුරු හුවමාරු විධිවිධාන සහ පහසුකම් භාවිතය සම්බන්ධ ගිවිසුම්,
- පැසිෆික් කලාපීය අභ්යවකාශ බලකායේ නියෝජිත පිරිසේ සංචාරයේ නිශ්චිත අරමුණ සහ අභ්යවකාශ දැනුවත්භාවය, චන්ද්රිකා සන්නිවේදනය හෝ කලාපීය ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් එකඟවී ඇති කැපවීම් ,
- ඊශ්රායලය, අමෙරිකා එක්සත් ජනපදය හෝ වෙනත් විදේශීය බලවතකු සම්බන්ධ නැඟෙනහිර වෙරළ තීරයේ “අභ්යවකාශ තොටුපොළක්” සඳහා වන කිසියම් යෝජනාවක් ආණ්ඩුවට ලැබී තිබේද, සලකා බලා තිබේද හෝ අනුමත කැර තිබේද යන්න ,
- ශ්රී ලංකා භූමිය, ගුවන් අවකාශය, භෞමික ජලය, සන්නිවේදන යටිතල පහසුකම් සහ අභ්යවකාශ ආශ්රිත පහසුකම් විදේශීය හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කිරීම වැළැක්වීම සඳහා පවතින ආරක්ෂක ක්රම,
රටේ ස්වාධීනත්වය, මධ්යස්ථභාවය සහ නොබැඳි තත්ත්වය තවදුරටත් පිරිහීමට එරෙහිව විරෝධය දක්වන ලෙස කොමියුනිස්ට් පක්ෂය කම්කරු පන්තිය, ගොවීන්, තරුණයන්, සිසුන්, කාන්තාවන්, වෘත්තීය සමිති, ප්රගතිශීලී බුද්ධිමතුන්, දේශප්රේමී බලවේග සහ ශ්රී ලංකාවේ ස්වෛරීභාවයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ විදේශ ප්රතිපත්තිය අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්යවාදයේ, ඊශ්රායල ව්යාප්තිවාදයේ හෝ ඔවුන්ගේ සගයින්ගේ උපායමාර්ගික අභිලාෂයන්ට නොව, ශ්රී ලංකාවේ ජනතාවට සේවය කළ යුතුය. සාමකාමි, විද්යාත්මක සහ මානුෂීය අරමුණු සඳහා අභ්යවකාශය ආරක්ෂා කළ යුතුය.
වෛද්ය ජී .වීරසිංහ
ප්රධාන ලේකම්
28.10.2026
