
වසර 5,000ක චීන ශිෂ්ටාචාරයේ අභිමානය කියාපාන හංෂෞ (Hangzhou) නගරයේ ලියංෂු කෞතුකාගාරය ( Liangzhu Museum) නැරඹීමටත්, එහි ඉතිහාසය මැනවින් අධ්යයනය කිරීමටත් පසුගිය දා මට හැකි විය. එම අවස්ථාව මට උදාවුයේ ශ්රී ලංකාවේ චීන සංස්කෘතික මධ්යස්ථානය සංවිධානය කළ හංපෞ (Hangzhou) සංචාරයට සම්බන්ධ වීමත් සමඟය.

පුරාණ නගරයක නටබුන්, අද්විතීය ජේඩ් නිර්මාණ සහ දියුණු ජල කළමනාකරණ පද්ධතියක් ඔස්සේ චීනයේ වසර 5,000කට අධික ඉතිහාසය ලෝකයට කියාපාන ලියංෂු කෞතුකාගාරය අද ලෝක සංස්කෘතික උරුමය පිළිබඳ අධ්යයනයේ වැදගත් මධ්යස්ථානයක් බවට පත්ව තිබේ යන්න කිවයුතුය.
චීනයේ ෂෙජියෑං පළාතේ හංෂෞ නගරයේ යුහාං දිස්ත්රික්කයේ පිහිටි ලියංෂු කෞතුකාගාරය (Liangzhu Museum) යනු, පුරාණ චීන ශිෂ්ටාචාරයක ඉතිහාසය, සංස්කෘතිය සහ තාක්ෂණික දියුණුව පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් ප්රදර්ශනය කරන පුරාවිද්යාත්මක කෞතුකාගාරයකි.
මෙම කෞතුකාගාරය විශේෂයෙන් වැදගත් වන්නේ වසර 5,000කට පමණ පෙර යැංසි ගංගා නිම්නයේ පහළ ප්රදේශයේ වර්ධනය වූ ලියංෂු ශිෂ්ටාචාරයේ උරුමයන් ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට දැනුම ලබාදෙන මධ්යස්ථානයක් ලෙස කටයුතු කරන බැවිනි.

වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක කතාව
ලියංෂු සංස්කෘතිය ක්රිස්තු පූර්ව 3300ත් 2300ත් අතර කාලයේදී සමෘද්ධිමත් වූ නවශිලා යුගයේ සංස්කෘතියකි. එය වී වගාව මත පදනම් වූ ආර්ථිකයක්, සංවිධානාත්මක සමාජ ව්යුහයක් සහ සුවිශේෂී ආගමික හා චාරිත්රානුකූල සම්ප්රදායන් සහිත ශිෂ්ටාචාරයක් ලෙස හඳුනාගෙන තිබේ. විශේෂයෙන් මේ ලියංෂු පුරාණ නගරයේ නටබුන්වලින් හෙළිවන්නේ එහි ජිවත් වු ජනතාව සරල ගම්මානවලට පමණක් සීමා නොවී, සැලසුම් සහගත නගර ජීවිතයක් ගොඩනඟාගෙන සිටි බවයි. නගර සැලසුම්කරණය, විශාල පස් බැමි, ජලය රැස්කිරීමේ සහ පාලනය කිරීමේ පද්ධති, විශේෂිත සුසාන භූමි සහ දියුණු අත්කම් නිෂ්පාදන එම සමාජයේ සංවිධානාත්මක ස්වභාවය පෙන්නුම් කැර තිබෙන බව ලියංෂු කෞතුකාගාරය පුරා ඇවිද ගිය මට මැනවින් වැටහිණි.මෙම සොයාගැනීම් මඟින් පුරාණ චීනයේ ශිෂ්ටාචාරය වර්ධනය වූ ආකාරය පිළිබඳ නව අවබෝධයක් ලබාගැනීමට මට හැකි විය.
පුරාවස්තු 3,000කට අධික එකතුවක්
පුරාවිද්යාත්මක කැණීම්වලින් සොයාගත් සංස්කෘතික වස්තු 3,000කට අධික එකතුවක් ලියංෂු කෞතුකාගාරය (Liangzhu Museum) සතුව තිබේ. ජේඩ් ගල් නිර්මාණ, මැටි භාණ්ඩ, ගල් මෙවලම්, අස්ථිවලින් සකස් කළ භාණ්ඩ සහ වෙනත් පුරාවස්තු එම එකතුවට ඇතුළත් වී තිබේ.
කෞතුකාගාරයේ ස්ථිර ප්රදර්ශනය සඳහා සංස්කෘතික වස්තු 608ක් හෝ කට්ටල ඉදිරිපත් කැර ඇති අතර, ඒවා අතරින් සැලකිය යුතු කොටසක් මෑත දශකයේ පුරාවිද්යාත්මක සොයා ගැනීම්වලට අයත් වන බව ලියංෂු කෞතුකාගාරය පිළිබඳ අධ්යයනයක යෙදුන මට අවබෝධ විය. මෙම වස්තු මඟින් ලියංෂු ජනතාවගේ දෛනික ජීවිතය, ආර්ථික කටයුතු, කලාත්මක නිර්මාණශීලීත්වය සහ සමාජ සංවිධානය පිළිබඳ කරුණු රැසක් අනාවරණය වෙයි.
ජේඩ් නිර්මාණවලින් හෙළිවන පුරාණ සංස්කෘතිය

ලියංෂු ශිෂ්ටාචාරයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජේඩ් නමැති වටිනා ගලෙන් නිර්මාණය කළ පුරාවිද්යාත්මක භාණ්ඩයි.විශේෂයෙන්ම කොං (Cong) ලෙස හැඳින්වෙන හතරැස් පිටත හැඩයක් සහ වෘත්තාකාර අභ්යන්තරයක් සහිත ජේඩ් වස්තු, බි (Bi) ලෙස හැඳින්වෙන වෘත්තාකාර ජේඩ් තැටි සහ ජේඩ් යූ (Yue) වැනි වස්තු එහි ප්රමුඛ ස්ථානයක් ගනී.
මෙම නිර්මාණවල හැඩය, මතුපිට කැටයම් සහ සියුම් නිමාව එකල ශිල්පීන් සතු වූ තාක්ෂණික හැකියාව සහ කලාත්මක කුසලතාව පෙන්නුම් කැර තිබේ.
පුරාවිද්යාඥයන්ගේ අධ්යයන අනුව, මෙම ජේඩ් භාණ්ඩ බොහොමයක් චාරිත්රානුකූල හා සංකේතාත්මක කාර්යයන් සමඟ සම්බන්ධ වී තිබේ. ඒවායේ භාවිතය සහ සොයාගත් ස්ථාන අනුව, ලියංෂු සමාජයේ ආගමික විශ්වාස, බලය සහ සමාජ තත්ත්වය අතර පැවති සම්බන්ධතා පිළිබඳව ද කරුණු හෙළි වේ.
එබැවින් ජේඩ් නිර්මාණ යනු අලංකාර භාණ්ඩ පමණක් නොව, පුරාණ සමාජයක ලෝක දැක්ම සහ සංස්කෘතික අනන්යතාව තේරුම් ගැනීමට උපකාරී වන පුරාවිද්යාත්මක සාක්ෂි ද වේ.

දියුණු නගර සැලසුම්කරණය සහ ජල කළමනාකරණය
ලියංෂු ශිෂ්ටාචාරයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි දියුණු ජල කළමනාකරණ පද්ධතියයි.පුරාණ නගරය අවට ඉදිකැර තිබූ විශාල පස් බැමි සහ ජලය රැස්කිරීමට හා පාලනය කිරීමට යොදාගත් ව්යුහයන් මඟින් එකල ජනතාව සතු ඉංජිනේරු දැනුම පිළිබඳ අවබෝධයක් මට ලබාගත හැකි විය.
ජල සම්පත් කළමනාකරණය කෘෂිකර්මාන්තයට, විශේෂයෙන්ම වී වගාවට සහ ජනාවාස පවත්වාගෙන යෑමට වැදගත් වූ බව පුරාවිද්යාත්මක සාක්ෂි මඟින් පෙන්නුම් කැර තිබේ.
මෙතරම් පැරණි යුගයකදී විශාල පිරිසකගේ ශ්රමය සංවිධානය කරමින් නගරයක් ඉදිකිරීම සහ ජල පාලන පද්ධතියක් පවත්වාගෙන යෑම, ලියංෂු සමාජයේ සැලසුම්කරණ හැකියාව සහ සාමූහික සංවිධානයේ දියුණුව පිළිබඳ වැදගත් සාක්ෂියක් බව කිවයුතුය.
කෞතුකාගාරයේ ප්රදර්ශන ශාලා තුන
ලියංෂු කෞතුකාගාරයේ ස්ථිර ප්රදර්ශනය ප්රධාන ශාලා තුනක් ඔස්සේ සංවිධානය කැර තිබේ.පළමු ප්රදර්ශන ශාලාව මඟින් තෙත්බිම් ආශ්රිතව වර්ධනය වූ ලියංෂු සමාජය, එහි පරිසරය සහ ජනතාවගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.
දෙවැනි ශාලාව පුරාණ ලියංෂු නගරයේ ව්යුහය, නගර සැලසුම්කරණය සහ ශිෂ්ටාචාරයේ වර්ධනය පිළිබඳව අවධානය යොමු කරයි.
තෙවැනි ශාලාව ජේඩ් නිර්මාණවලට වෙන් කැර ඇති අතර, එම වස්තු ලියංෂු සමාජයේ ආධ්යාත්මික හා සංස්කෘතික සංකේත ලෙස ඉටු කළ කාර්යභාරය පැහැදිලි කරයි.මෙම ප්රදර්ශන මඟින් ඉතිහාසය පිළිබඳ තොරතුරු පමණක් නොව, පුරාවිද්යාත්මක සොයාගැනීම් මත පදනම්ව පැරණි සමාජයක් පිළිබඳ දැනුම ගොඩනඟා ගන්නා ආකාරය ද පෙන්වා දෙයි.
නූතන ගෘහ නිර්මාණ ශිල්පය හා පුරාණ උරුමය

ලියංෂු කෞතුකාගාරය එහි පුරාවස්තු නිසා පමණක් නොව නූතන ගෘහ නිර්මාණ ශිල්පය නිසා ද අවධානය දිනා ගෙන තිබේ.බ්රිතාන්ය ගෘහ නිර්මාණ ශිල්පී ඩේවිඩ් චිපර්ෆීල්ඩ් (David Chipperfield) සැලසුම් කළ මෙම කෞතුකාගාරයේ ගොඩනැගිලි සරල නවීන නිර්මාණ ලක්ෂණවලින් සමන්විත වෙයි.
එහි ප්රදර්ශන අවකාශයන් ඔස්සේ ජේඩ් නිර්මාණ, පුරාණ නගරයේ ආකෘති සහ පුරාවිද්යාත්මක සොයාගැනීම් නරඹන්නන්ට සමීපව අධ්යයනය කළ හැකිය. කෞතුකාගාරය පාසල් සිසුන්, විශ්වවිද්යාල සිසුන්, පර්යේෂකයන් සහ සංචාරකයන් සඳහා ද අධ්යාපනික වටිනාකමක් සපයන බව කිවයුතු කරුණකි. එමඟින් ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ දැනුම ජනතාව අතර ප්රචලිත කිරීමට දායක වෙයි.
ලෝක උරුමයක් ලෙස ලියංෂු

ලියංෂු පුරාණ නගරයේ පුරාවිද්යාත්මක නටබුන් 2019 ජූලි 6 වැනිදා යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.
එම පිළිගැනීම ලැබීමට ප්රධාන හේතුව වූයේ වසර 5,000කට පමණ පෙර නැගෙනහිර ආසියාවේ සංවිධානාත්මක නාගරික ශිෂ්ටාචාරයක් පැවති බවට ලියංෂු නටබුන් සුවිශේෂී සාක්ෂි සැපයීමයි.
නගර සැලසුම්කරණය, ජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, සමාජ ස්ථරීකරණය සහ චාරිත්රානුකූල ජේඩ් භාවිතය යන අංශ ඔස්සේ එම ශිෂ්ටාචාරය මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.
යුනෙස්කෝ පිළිගැනීමෙන් පසුව ලියංෂු උරුමය සංරක්ෂණය කිරීම, ඒ පිළිබඳ පර්යේෂණ ප්රවර්ධනය කිරීම සහ එහි වැදගත්කම ලෝක ජනතාවට හඳුන්වා දීම තවදුරටත් වැදගත් වී තිබේ.

වසර 5,000ක ඉතිහාසයෙන් ලෝකයට ලැබෙන පණිවුඩය
ලියංෂු කෞතුකාගාරය පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරයක් ගොඩනැඟිම යනු විශාල ගොඩනැගිලි ඉදිකිරීම හෝ භෞතික සම්පත් රැස්කිරීම පමණක් නොවන බවයි. එයට දැනුම, තාක්ෂණය, සාමූහික සංවිධානය, සංස්කෘතික අනන්යතාව සහ ස්වභාවික සම්පත් කළමනාකරණය ද අවශ්ය වේ.
වසර දහස් ගණනකට පෙර ලියංෂු ජනතාව ගොඩනැගූ නගරය සහ ජල පද්ධතිය අද පවා අධ්යයනයට ලක්වන්නේ ඒ නිසා බව කිවයුතු කරුණකි.
නූතන හංෂෞ නගරයේ තාක්ෂණික හා ආර්ථික දියුණුව සමඟ එහි පැරණි සංස්කෘතික උරුමය ආරක්ෂා කැරගෙන යෑම ද වැදගත් කාර්යයක් වී තිබේ. ලියංෂු කෞතුකාගාරය ඒ අරමුණ වෙනුවෙන් අතීතය හා වර්තමානය සම්බන්ධ කරන පාලමක් ලෙස ක්රියා කරන බව කිවයුතුය.
අතීත ශිෂ්ටාචාරයක උරුමය ආරක්ෂා කිරීම යනු ,පැරණි වස්තු රැකගැනීම පමණක් නොවේ. එය මානව වර්ගයාගේ පොදු ඉතිහාසය, දැනුම සහ සංස්කෘතික අනන්යතාව අනාගත පරම්පරාවට දායාද කිරීමකි. හංෂෞ නගරයේ ලියංෂු කෞතුකාගාරය ලෝකයට ලබාදෙන වැදගත්ම පණිවුඩය එය බව ඉන් පිටතට ආ මට අවබෝධ විය.
පස්වැනි කොටස

සටහන—
චන්දන විජේකෝන්
