
දින තුනක් පුරා බෙංගාල බොක්ක මුහුදු සීමාවේ වර්ධනය වූ පැයට කිලෝමීටර් 140 දක්වා වේගයෙන් යුතු අතිශය ප්රචණ්ඩකාරී අර්නාබ් සුළි කුණාටුව අද පෙරවරුවේදී බාපට්ලා සහ විශාකාපට්නම් අතර පිහිටි අන්ද්ර ප්රදේශ සහ යානාම් වෙරළ තීරයන් හරහා ගමන් කරනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.
වසර 1970 සිට 2023 කාලසීමාව දක්වා සුළි කුණාටු 61කට මුහුණ දී ඇති අන්ද්රා ප්රාන්තයට අවසන් වරට ඉතා ප්රචණ්ඩකාරි සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී ඇත්තේ 2018 ඔක්තෝබරයේ කඩා වැදුණු ටිට්ලි සුළි කුණාටුවෙන් බව හින්දු පුවත් සේවය වාර්තා කළේය.
ඊයේ දහවල් වන විට අර්නාබ් සුළි කුණාටුව විශාකාපට්නම් මුහුදු තීරයෙන් කිලෝමීටර් 170ක දුරින් ස්ථානගත වී තිබූ බවත්, ඒ වන විටත් මුහුදු තීරය ආසන්න ප්රදේශ රැසකට අධික සුළං සමඟ තද වැසි පතිත වූ බවත් වාර්තා වේ.
ඊයේ පස්වරුව වන විට අන්ද්ර සහ ඔඩීෂා මුහුදු තීරය ආසන්න ප්රදේශවල ආරක්ෂිත තත්ත්වය ඉහළ නංවා ඇති අතර, දිස්ත්රික්ක ගණනාවක පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබේ. ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉන්දියාවේ ජාතික අර්බුද කළමනාකරණ කමිටුව ලබාදුන් උපදෙස් මත එරට ජාතික ආපදා ප්රතිචාර බළකාය සීරුවෙන් තබා ඇතැයි ද වාර්තා වේ. ඊයේ පස්වරුව වන විටත් ජාර්කන්ඩ් ප්රාන්තයේ බොහෝ නගරවලට අධික වැසි පතිත වී ඇතැයි ද, මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද හින්දු පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස සහ මාර්ගවලට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ. අන්ද්රා ඇතුළු අවට ප්රාන්ත රැසක දුම්රිය ගමන් සහ ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර තිබේ.( දිනමිණ)
