Impartial news reporting for a stronger democratic society
ජනාධිපති ලුලා ජය පැන් බොද්දී ෆ්ලාවියෝ බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි!

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන්  පරාජයට පත් වු  දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ  සිය  පරාජය පිළිගැනීම මේ වන විට ප්‍රතික්ෂේප කැර  ඇති බව Cyber World Press  වාර්තා කරයි.

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් සිව්වැනි වරටත් ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා හමුවේ  ෆ්ලාවියෝ බොල්සොනාරෝ  පරාජයට පත් වීමත් සමඟ මෙම තිරණය  ගෙන ඇත.

සිරගත කැර සිටින සිය පියාගේ අඩිපාර අනුගමනය කරමින් ඔහු මෙම පියවර ගෙන ඇති අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කිරීමේ තීරණයට එරෙහිව බ්‍රසීලයේ දෙවැනි වටයේ මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කරන බව ප්‍රකාශ කැර ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමේ අක්‍රමිකතා හේතුවෙන් ලුලා විසින් පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විසින් පෙරේදා (25) රාත්‍රියේ ගත් ඡන්ද කාලය පැය දෙකකින් දීර්ඝ කිරීමේ තීරණය දැඩි ලෙස ප්‍රශ්න කැර ඇත. ‘සිදුවීම් සිදු වූ ආකාරයේ පසුබිම යටතේ මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම කිසිසේත්ම කළ නොහැක්කකි,’ යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොල්සොනාරෝ සඳහන්  කැර ඇතැයි Cyber World Press පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ලුලාට වඩා මිලියන 4 කට අධික ඡන්ද සංඛ්‍යාවකින් බොල්සොනාරෝ පසුපසින් සිටින බැවින්, ඡන්දය අවලංගු කිරීමට ඔහු දරන උත්සාහය සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අවම බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේම, කොන්සර්වේටිව් නැඹුරුවක් ඇති දකුණු ප්‍රදේශයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ද ඡන්ද කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටීම, ඔහුගේ පෙත්සමේ නීත්‍යානුකූලභාවය දුර්වල කිරීමට හේතු වී තිබේ.

මෑත වසරවලදී මැතිවරණ ක්‍රමය සහ අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි ජනතා විශ්වාසය දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පසුබිමක, බොල්සොනාරෝ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම පුළුල් විරෝධතා රැල්ලක් මතු කිරීමට හේතු විය හැකි බව නිරීක්ෂකයෝ අවධාරණය කරති.

මීට පෙර, 2022 ජනාධිපතිවරණයෙන් පසු එහි ප්‍රතිඵලයට එරෙහිව ජෙයර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් රජයේ ගොඩනැගිලිවලට කඩා වැදීම හේතුවෙන් බ්‍රසීලය දැඩි ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයකට මුහුණ පෑවේය. පසුව කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ වරදට ඔහුට වසර 27 ක සිර දඬුවමක් නියම විය.

ලුලාගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය ජනමත විමසුම්, පූර්වාදර්ශ මෙන්ම ලතින් අමෙරිකාව පුරා පැතිර ගිය දක්ෂිණාංශික මැතිවරණ ජයග්‍රහණ රැල්ලට තිරිංග යොදමින් ඒවා අභිබවා යෑමට සමත් විය. බොල්සොනාරෝ පවුල යළි බලයට ගෙන ඒම සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාකාරී මෙහෙයුමක් දියත් කළ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට මෙම මැතිවරණ ප්‍රතිඵලය දැඩි කලකිරීමක් ගෙන දෙනු ඇතැයි බ්‍රසීලයේ සිටින  Cyber World Press  වාර්තාකරු සඳහාන් කරයි..

Follow by Email
LinkedIn
Share
WhatsApp