Impartial news reporting for a stronger democratic society
බීජිං – හංෂෞ මහා ඇළ මාර්ගය හංෂෞ නගරයේ සමෘද්ධියේ පදනමයි

චීනයේ හංෂෞ නගරය මැදින් ගලා  බසින බීජිං – හංෂෞ මහා ඇළ මාර්ගය  ගැන තොරතුරු  ඉතිහාස  පොත පත  කියවීමෙන් අවබෝධයක්  ලබා  තිබුණද , එය සියසින් දැක ගැනීමට අවස්ථාවක්  ලැබේ යැයි  මම දැන සිටියේ නැත.

ශ්‍රී ලංකාවේ  චීන  සංස්කෘතික මධ්‍යස්ථානය සුදානම් කළ හංෂෞ (Hangzhou)  සංචාරයේදී මෙම  බීජිං – හංෂෞ මහා ඇළ මාර්ගය ගැනත්, එය  කේන්ද්‍ර කැර ගනිමින් චීන ඉතිහාසයේ සිදු වු  වෙළෙඳාම, ආර්ථිකය සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ තවත් බොහෝ  තොරතුරු අධ්‍යයනය කිරීමට මට අවස්ථාව උදා විය.

චීනයේ නැඟෙනහිර වෙරළබඩ කලාපයේ පිහිටි  හංෂෞ නගරය අද ලෝකයේ අවධානය දිනාගත් නවීන නගරයකි. තාක්ෂණය, කර්මාන්ත, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය අතින් කැපී පෙනෙන නගරයකි. මෙම නගරයේ අතීත සමෘද්ධිය අවබෝධ කැර ගැනීමට නම් එහි ඉතිහාසය හා බැඳී පවතින සුවිශේෂී ජල මාර්ගයක් වන බීජිං– හංෂෞ මහා ඇළ මාර්ගය පිළිබඳව අවධානය යොමු  කිරීම ඉතා වැදගත්ය.

ලෝකයේ පැරණිතම හා දිගම කෘත්‍රිම ජල මාර්ග පද්ධති අතරට අයත් මෙම මහා ඇළ මාර්ගය චීනයේ උතුරු හා දකුණු ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කළ දැවැන්ත ඉංජිනේරු නිර්මාණයකි. එය හුදෙක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉදිකළ ජල මාර්ගයක් පමණක් ම නොවේ. චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදනය, අභ්‍යන්තර වෙළෙඳාම, නගර සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරුව වර්ධනය කිරීමට   මෙම ඇළ මාර්ගය විශාල දායකත්වයක් ලබා  දී ඇති බව ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙයි.

වසර 2,500කට වැඩි ඉතිහාසයක්

බීජිං –  හංෂෞ මහා ඇළ මාර්ගයේ ආරම්භක කොටස් ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවස දක්වා දිව යයි. එහි මුල් කොටස් විවිධ කාලවලදී ඉදිකැර තිබූ අතර, චීනයේ සුයි රාජවංශ සමයේදී එම ජල මාර්ග පද්ධතිය විශාල වශයෙන් සංවර්ධනය කැර එකිනෙකට සම්බන්ධ  කැර ඇති බව  ඉතිහාසයේ  සඳහාන් වෙයි. පසුව යුවාන්, මිං සහ චිං රාජවංශ සමයන්හිදී ද එහි සංවර්ධනය හා ප්‍රතිසංස්කරණ සිදු වී ඇති බව  සඳහාන් වෙයි.

මහා ඇළ මාර්ගයේ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි නූතන බීජිං – හංෂෞ කොටස කිලෝමීටර් 1,794–1,797ක් පමණ දිගින් යුක්ත බව විවිධ මූලාශ්‍රවල  සඳහන්ව ඇත. එය බීජිං නගරයේ සිට දකුණින් පිහිටි හංෂෞ දක්වා විහිදෙයි.

මෙම ජල මාර්ගය හයිහේ, කහ ගඟ, හුවායි ගඟ, යැංසි ගඟ සහ චියැන්ටැං ගඟ ආශ්‍රිත ජල පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එමඟින් චීනයේ විවිධ ප්‍රදේශ අතර භාණ්ඩ, ජනතාව සහ සංස්කෘතික අදහස් හුවමාරු කැර ගැනීම  ආදී කටයුතුවලට පහසු  වී ඇත.

හංෂෞ නගරයේ ආර්ථිකයට ලැබුණු ශක්තිය

බීජිං– හංෂෞ මහා ඇළ මාර්ගයේ දකුණු කෙළවරේ පිහිටීම හංෂෞ නගරය ඓතිහාසික වැදගත්කම තීරණය කළ ප්‍රධාන මධ්‍යස්ථානයකි.

අතීතයේදී ගොඩබිම් මාර්ග ඔස්සේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම කාලය හා ශ්‍රමය වැය වන කාර්යයක් විය. එහෙත් මහා ඇළ මාර්ගය හරහා බෝට්ටු සහ නෞකා භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබීම නිසා වෙළෙඳාම ට නව අවස්ථා උදා  වු බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි.

කෘෂිකාර්මික නිෂ්පාදන, සහල්, ලුණු සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී මෙම ජල මාර්ගය විශේෂයෙන් වැදගත්  වී ඇත. දකුණු චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදන උතුරු ප්‍රදේශවලට ගෙන යෑමටත්, උතුරු ප්‍රදේශවලින් විවිධ භාණ්ඩ දකුණට ප්‍රවාහනය කිරීමටත් එය උපකාරී  වී ඇත.

මෙම වෙළෙඳ හුවමාරුව නිසා ඇළ මාර්ගය ආශ්‍රිතව වෙළෙඳ මධ්‍යස්ථාන, ගබඩා, තොටුපොළවල් සහ ජනාවාස වර්ධනය විය. ඒ සමඟම වෙළෙඳුන්, ශිල්පීන් සහ විවිධ වෘත්තීන්හි නිරත වූ ජනතාවට ආදායම් උපයා ගැනීමේ අවස්ථා ද පුළුල් විය.

මේ අනුව, මහා ඇළ මාර්ගය හංෂෞ නගරයේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට පමණක් නොව, සමස්ත කලාපයේ නාගරික සංවර්ධනයට ද පදනමක් සැපයු බව කිවයුතුය.

චීනයේ උතුරු හා දකුණු ප්‍රදේශවල භූගෝලීය පරිසරය, කෘෂිකාර්මික නිෂ්පාදන සහ ආර්ථික අවශ්‍යතා එකිනෙකට වෙනස් විය. මෙම ප්‍රදේශ අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා මහා ඇළ මාර්ගය වැදගත් ප්‍රවාහන ජාලයක් බවට පත් වී ඇත.

විශේෂයෙන්ම අධිරාජ්‍ය පාලන සමයන්හිදී උතුරු ප්‍රදේශවල රාජ්‍ය පරිපාලන මධ්‍යස්ථාන වෙත සහල් හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා මෙම ඇළ මාර්ගය යොදා ගෙන  තිබෙන බව සඳහාන් වෙයි. එමෙන්ම රාජ්‍ය පාලනයට අවශ්‍ය භාණ්ඩ හා හමුදා සැපයුම් ප්‍රවාහනය කිරීමට ද එය උපකාරී  වී ඇති බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි  වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මහා ඇළ මාර්ගය ආර්ථික කටයුතුවලට පමණක් සීමා නොවී, චීනයේ විශාල භූමි ප්‍රදේශයක් එකම පරිපාලන හා සන්නිවේදන පද්ධතියක් තුළ සම්බන්ධ කිරීමට ද දායක විය.

හංෂෞ නගරයට මෙම ජාලය සමඟ සම්බන්ධ වීමෙන් කලාපීය වෙළෙඳාමට සහභාගී වීමටත්, දුර බැහැර ප්‍රදේශ සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීමටත් හැකි වී තිබේ.

මහා ඇළ මාර්ගයේ වැදගත්කම ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවේ. එය චීනයේ විවිධ ප්‍රදේශවල ජනතාව අතර සංස්කෘතික සබඳතා තවතවත් ශක්තිමත් කළ මාර්ගයක්  වු බව මෙහිදී සඳහාන් කළ යුතු වැදගත්  කරුණකි.

ඇළ මාර්ගය ඔස්සේ ගමන් කළ වෙළෙඳුන්, කම්කරුවන්, ශිල්පීන් සහ වෙනත් සංචාරකයන් සමඟ විවිධ ප්‍රදේශවල ආහාර රටා, ඇඳුම් පැළඳුම්, කලා ශිල්ප, සිරිත් විරිත් සහ අදහස් හුවමාරු වීම පෙනෙන සාධකයක්  වී ඇත. එමඟින් ඇළ මාර්ගය ආශ්‍රිත නගරවලට විවිධ සංස්කෘතික ලක්ෂණ එක්  වු බව මෙම සංචාරයේදී මට දැන ගැනීමට හැකි විය.

හංෂෞ නගරයේ ඓතිහාසික ජල මාර්ග, පැරණි පාලම්, තොටුපොළවල් සහ සාම්ප්‍රදායික ජනාවාස එම දිගු ඉතිහාසය පිළිබඳ සාක්ෂි සපයයි. අදත් මහා ඇළ මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබෙන ඇතැම් සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් එම අතීත සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස සැලකිය හැකිව තිබේ.

එබැවින් මෙම ඇළ මාර්ගය ජලය ගලා යන මාවතක් පමණක් නොව, චීන ජනතාවගේ ඉතිහාසය, ජීවන රටාව සහ සංස්කෘතික මතකය රැගෙන යන ජීවමාන උරුමයක් ද වේ.

හතර වැනි කොටස

සටහන —

චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp