
රටක සංස්කෘතික අනන්යතාවයන් ආරක්ෂා කැර ගැනීම සංවර්ධනයේ වැදගත් අංගයක් බව විද්වත් මතයයි. විශේයෙන් අතීතය අමතක කැර අනාගතය කරා ගමන් කිරීම තුළින් සිදු වන්නේ , සමාජ හර පද්ධති විනාශ වී ව්යාකුල ස්වභාවයන් මතු වීමයි. නමුත් චීනය සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමේදී සංස්කෘතික අනන්යතාවයට ප්රමුඛත්වයක් ලබා දෙමින් සිය උරුමයන් ආරක්ෂා කැර ගැනීමට කැපවී කටයුතු කරන ආකාරය පසුගිය දා මට සියසින් දැකබලා ගැනීමය හැකි විය.

ශ්රී ලංකාවේ චීන සංස්කෘතික මධ්යස්ථානයේ ආරාධනයක් පරිධි චීනයේ හැංෂෞ (Hangzhou ) නගරයේ සංචාරයක නිරත වීමට මට හැකි වීම නිසාය.
විශේෂයෙන් මෙම හැංෂෞ (Hangzhou ) නගරයේ සංස්කෘතික උරුමයන් පිළිබඳ කතා කිරීමේදී ලෝක ප්රකට බටහිර විල (West Lake), පැරණි මහා ඇළ මාර්ගය සහ ලියැංෂු පුරාවිද්යාත්මක උරුමය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ.

ලියැංෂු ශිෂ්ටාචාරය සහ වසර 5000ක අතීත සලකුණු
චීනයේ හැංෂෞ නගරය ආශ්රිත ප්රදේශයේ පවතින වැදගත්ම පුරාවිද්යාත්මක උරුමයක් වන්නේ ලියැංෂු ශිෂ්ටාචාරයයි. වසර 5000කට පමණ පෙර යැංසි ගංගා ඩෙල්ටා ප්රදේශයේ පැවති මෙම ශිෂ්ටාචාරය, පැරණි චීනයේ සමාජ සංවිධානය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, අත්කම් නිෂ්පාදනය සහ ආගමික විශ්වාස පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් සපයන බව කිවයුතු වැදගත් කරුණකි .
ලියැංෂු ප්රදේශයේ සිදු කැර ඇති පුරාවිද්යාත්මක කැණීම්වලින් මේ වන විට හමුවී ඇති දැවැන්ත ජල කළමනාකරණ පද්ධති, පුරාණ නගර නටබුන් සහ ජේඩ් පාෂාණයෙන් නිර්මාණය කළ කලා කෘති එම සමාජයේ උසස් තාක්ෂණික හා සංවිධානාත්මක හැකියාවන් අද ලොවට පෙන්නුම් කැර තිබේ.
2019 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරුණු ලියැංෂු පුරාවිද්යාත්මක ස්ථානය, චීනයේ මුල්කාලීන නාගරික ශිෂ්ටාචාරය අවබෝධ කැර ගැනීමට ඇති වැදගත් මධ්යස්ථානයක් බව අවබෝධ කැර ගැනීමට මට වැඩි වේලාවක් ගත වුයේ නැත. මෙම උරුමය සංරක්ෂණය කිරීම යනු පුරාවිද්යාත්මක ස්ථානයක් ආරක්ෂා කිරීම පමණක් ම නොවේ. එමඟින් අතීත චීන ජනතාවගේ ජීවන රටාව, ඔවුන්ගේ දැනුම සහ නිර්මාණශීලීත්වය නූතන පරපුරට හඳුන්වා දීමට ගෙන ඇති උත්සාහය ගැන ශ්රී ලාංකිකයෙක් වශයෙන් මට ඇති වන්නේ ආඩම්බරයකි.
බටහිර විල : සොබාදහම හා සංස්කෘතියේ අපූරු සංකලනය
හැංෂෞ නගරයේ සංස්කෘතික අනන්යතාව සමඟ දැඩි ලෙස බැඳී ඇති තවත් ස්ථානයක් වන්නේ බටහිර විලයි.විල, කඳු, පාලම්, උද්යාන, පුරාණ විහාරස්ථාන සහ ඓතිහාසික ගොඩනැඟිලිවලින් සමන්විත මෙම ප්රදේශය, චීන සෞන්දර්යය, සාහිත්යය සහ චිත්ර කලාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කැර තිබෙන බව අවදාරණය කළ යුතුව තිබේ.
2011 වසරේදී බටහිර විලේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ ස්වභාවික පරිසරය හා මානව නිර්මාණ එකිනෙකින් වෙන් නොවී පැවතීමයි. පුරාණ කාලයේ සිටම කවියන්, චිත්ර ශිල්පීන් සහ දාර්ශනිකයන් බටහිර විලෙන් ආභාසය ලබාගෙන තිබෙන බව ඉතිහාසය අධ්යයනය කිරීමේදී මට පැහැදිලි වු කරුණකි.
අදත් එම පරිසරය ආරක්ෂා කිරීම, ජලයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම, පැරණි ගොඩනැඟිලි සංරක්ෂණය කිරීම සහ සංචාරක කටයුතු පාලනය කිරීම වැදගත් කාර්යයන් බවට පත්ව තිබේ.
විශේෂයෙන් හැංෂෞ වැසියන්ට බටහිර විල යනු සංචාරක ආකර්ෂණයක් පමණක් ම නොවේ. එය ඔවුන්ගේ නගරයේ ඉතිහාසය, සංස්කෘතිය සහ සාමූහික මතකය නියෝජනය කරන සම්පතකි.ඒ් බැවින් එය රැක ගැනීම සඳහා හැංෂෞ වැසියෝ කැපවීම් කරති.
පුරාණ මහා ඇළ: ජල මාර්ගයකට එහා ගිය උරුමයක්
චීනයේ සංස්කෘතික ඉතිහාසය තුළ පුරාණ මහා ඇළට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.බීජිං සිට හැංෂෞ දක්වා විහිදෙන මෙම ඓතිහාසික ජල මාර්ග පද්ධතිය, චීනයේ විවිධ ප්රදේශ අතර ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වී ඇති බව කිවයුතුය.
හැංෂෞ යනු මෙම මහා ඇළේ දකුණු කෙළවරේ පිහිටි වැදගත් නගරයකි. අතීතයේදී භාණ්ඩ ප්රවාහනය, වෙළෙඳාම සහ ජනතාවගේ ගමනාගමනය සඳහා මෙම ජල මාර්ගය විශාල සේවයක් ඉටු කැර ඇත.2014 වසරේදී චීනයේ මහා ඇළ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් විය.අද මෙම උරුමය ආරක්ෂා කිරීමේදී පැරණි ජල මාර්ග පමණක් නොව, ඒ ආශ්රිත ඓතිහාසික ගොඩනැගිලි, පැරණි වීදි, වෙළෙඳ සම්ප්රදායන් සහ ජන ජීවිතය ද වැදගත් වෙයි. විශේෂයෙන් නූතන නගර සංවර්ධනය සමඟ පුරාණ ඇළ ආශ්රිත ප්රදේශ සංරක්ෂණය කිරීමෙන්, අතීතයේ ජීවන රටාව සහ වර්තමාන නාගරික ජීවිතය අතර සම්බන්ධතාවක් ගොඩනැඟීමට හැකි වී ඇති බව දක්නට ලැබේ.

පාරම්පරික කලා ශිල්ප සහ දේශීය අනන්යතාව
සංස්කෘතික උරුමයක් යනු පුරාණ ගොඩනැඟිලි හෝ පුරාවිද්යාත්මක ස්ථාන පමණක් ම නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට පැවරෙන දැනුම, ශිල්පීය ක්රම, ආහාර සංස්කෘතිය, උත්සව සහ ජීවන සම්ප්රදායන් ද එයට අයත් වේ.හැංෂෞ නගරයේ සේද නිෂ්පාදනය, සාම්ප්රදායික චීන සිතුවම් කලාව, තේ සංස්කෘතිය සහ විශේෂයෙන් ලොංජිං (Longjing) හෙවත් ඩ්රැගන් වෙල් තේ සඳහා ප්රසිද්ධියක් උසුලයි.
මෙම සම්ප්රදායන් පවත්වාගෙන යෑම සඳහා ශිල්පීන්ගේ දැනුම ආරක්ෂා කිරීම, තරුණ පරපුරට පුහුණුව ලබාදීම සහ සාම්ප්රදායික නිෂ්පාදන නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම වැදගත් වේ.ඒ අනුව, සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම යනු අතීතයට පමණක් සීමා වූ කාර්යයක් නොවන බව චීන වැසියෝ හොඳින් දනිති. එය වර්තමාන ජනතාවගේ ජීවනෝපාය සහ අනාගත පරපුරේ අවස්ථා සමඟ ද සම්බන්ධතාවක් පැවතීම විශේෂත්වයකි.පාරම්පරික ශිල්පවලට නව තාක්ෂණය හඳුන්වාදීම, අන්තර්ජාලය හරහා ඒවා ප්රචලිත කිරීම සහ සංස්කෘතික සංචාරක කර්මාන්තය දියුණු කිරීම මඟින් එම උරුමයන්වලට නව ජීවයක් ලබා දීමට චීනය සමත් වී ඇති බව මට මැනවින් අවබෝධ විය.

සංවර්ධනය හා උරුම සංරක්ෂණය අතර සමතුලිතතාව
වේගයෙන් නාගරීකරණය වන ලෝකයක ඓතිහාසික නගරවලට මුහුණදීමට සිදුවන ප්රධාන අභියෝගයක් වන්නේ සංවර්ධනය හා සංරක්ෂණය අතර නිවැරදි සමතුලිතතාව පවත්වා ගැනීමයි.නව ගොඩනැගිලි, මාර්ග, වාණිජ මධ්යස්ථාන සහ සංචාරක පහසුකම් ඉදිකිරීමේදී පැරණි ගොඩනැඟිලි හා ඓතිහාසික පරිසරය ආරක්ෂා කැර ගැනීම පහසු කාර්යයක් නොවේ. අද හැංෂෞ වැනි නගරවලටද මෙම අභියෝගයට මුහුණ දීමට සිදුව ඇති බව රහසක් නොවේ.
ඒ සඳහා ඓතිහාසික ස්ථාන පිළිබඳ නිවැරදි ලේඛන පවත්වාගෙන යෑම, පුරාණ ගොඩනැඟිලි විද්යාත්මක ක්රමවේද අනුව ප්රතිසංස්කරණය කිරීම, පරිසර දූෂණය පාලනය කිරීම සහ සංචාරකයන්ගේ බලපෑම කළමනාකරණය කිරීම ප්රධාන කාර්යයක් වෙයි.එසේම සංස්කෘතික උරුමයන් පිළිබඳ තීරණ ගැනීමේදී ඒවා ආශ්රිතව ජීවත් වන ජනතාවගේ අදහස් හා අවශ්යතා සැලකිල්ලට ගැනීම වැදගත්ය.විශේෂයෙන්, උරුම සංරක්ෂණය සාර්ථක වීමට නම් රාජ්ය ආයතනවල මැදිහත්වීම පමණක් ප්රමාණවත් නොවේ. ප්රදේශවාසීන්ගේ සහභාගිත්වය, පර්යේෂකයන්ගේ දායකත්වය, අධ්යාපන ආයතනවල මැදිහත්වීම සහ පෞද්ගලික අංශයේ වගකීම ද ඒ සඳහා අවශ්ය වන බව චිනය මැනවින් අවබෝධ කැර ගෙන ඇත..
අනාගත පරපුරට උරුමය පැවරීම
සංස්කෘතික උරුමයක් ආරක්ෂා කිරීමේ වැදගත්ම අරමුණ වන්නේ එය අනාගත පරපුර වෙත පැවරීමයි.ඒ සඳහා දරුවන්ට සහ තරුණයන්ට තම ප්රදේශයේ ඉතිහාසය හඳුන්වාදීම, කෞතුකාගාර හා ඓතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථා සැලසීම සහ පැරණි ශිල්ප පිළිබඳ පුහුණුව ලබාදීමට චීනය අච කටයුතු කරමින් සිටි. ඒ් සඳහා ජනතා සහයෝගය නොවඩුව ලැබී තිබීම වැදගත් සාධකයකි.
නවීන ඩිජිටල් තාක්ෂණය ද මේ සඳහා නව අවස්ථා විවෘත කැර ඇති බව මට අවබෝධ වීමට වැඩි වේලාවක් ගියේ නැත. විශේෂයෙන් ත්රිමාණ ආකෘති, ඩිජිටල් ලේඛනාගාර, අන්තර්ජාල ප්රදර්ශන සහ අතථ්ය සංචාර මඟින් ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු ලොව පුරා ජනතාව වෙත ගෙන යමින් තිබේ.
එමෙන්ම ඓතිහාසික ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීමෙන් තරුණ පරපුරේ අවධානය ඒ වෙත යොමු කළ හැකි බව අද චීනය අවබෝධ කැර ගෙන තිබේ.මෙවැනි ක්රියාමාර්ග මඟින් සංස්කෘතික උරුමය අතීතයේ නටබුන් සමූහයක් ලෙස නොව, වර්තමාන සමාජයේ ජීවමාන කොටසක් ලෙස පවත්වාගෙන යෑමට හැකි වේය යන්න කිවයුතුය.

හැංෂෞ ලෝකයට දෙන ආදර්ශය කුමක්ද
චීනයේ හැංෂෞ නගරයෙන් මා ඉගෙනගත් වැදගත්ම පාඩම වන්නේ ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතික උරුම සංරක්ෂණය එකිනෙකට පටහැනි අරමුණු විය යුතු නැති බවයි.පැරණි ශිෂ්ටාචාරයක නටබුන්, ඓතිහාසික ජල මාර්ග, පාරම්පරික කලා ශිල්ප සහ ස්වභාවික පරිසරය නිසි ලෙස කළමනාකරණය කළහොත් ඒවා අධ්යාපනයට, පර්යේෂණයට, සංචාරක කර්මාන්තයට සහ ප්රාදේශීය ආර්ථිකයට ද දායක කැරගත හැකිව තිබේ.
කෙසේ වෙතත්, සැබෑ සංරක්ෂණය යනු ඓතිහාසික ස්ථානවල බාහිර පෙනුම ආරක්ෂා කිරීම පමණක් ම නොවේ. ඒවායේ ඓතිහාසික සත්යතාව, සංස්කෘතික අර්ථය සහ ඒවා සමඟ බැඳී පවතින ජන ජීවිතය ද ආරක්ෂා කිරීම එයට ඇතුළත් විය යුතු බව මගේ අදහසයි. කෙසේ වුවත්,හැංෂෞ නගරයේ උරුමයන් අපට සිහිපත් කරන්නේ රටක සංවර්ධනය මැනිය යුත්තේ අලුතින් ඉදිකරන ගොඩනැගිලි හා මාර්ග සංඛ්යාවෙන් පමණක් ම නොවන බවයි. අතීතයෙන් ලැබුණු වටිනාකම් අනාගතයට සුරක්ෂිතව භාරදීමට එම රටට ඇති හැකියාව ද එහි සංවර්ධනයේ වැදගත් මිනුමක් බව කිවයුතු කරුණකි. මහජන චීනය මේ සඳහා අද කැපවී කටයුතු කිරීම මුළු ලෝකයටම ආදර්ශයක් සපයයි. මේ නයින් බලන විට පැහැදිලි වන්නේ කුමක්ද?. වසර දහස් ගණනක ශිෂ්ටාචාරයක උරුමය ආරක්ෂා කරමින් නූතන ලෝකය සමඟ ඉදිරියට ගමන් කරන හැංෂෞ නගරයේ කතාව, තමන්ගේ සංස්කෘතික අනන්යතාව රැකගනිමින් සංවර්ධනය අපේක්ෂා කරන ලොව සෑම රටකටම වැදගත් පණිවුඩයක් ලබා දෙන බව නොවේද.?
හැංෂෞ සංචාරය – දෙවැනි කොටස

සටහන–
චන්දන විජේකෝන්
