
පුරාණ ශිෂ්ටාචාරයේ උරුමයත් නවීන සංවර්ධනයත් එකට හමුවන චීනයේ සුන්දර නගරයක් වන හැංෂෞ (Hangzhou) අප කණ්ඩායමේ ගමනාන්තය විය. කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වු අප කණ්ඩායම පැය පහක ගුවන් කාලයකින් පසු චීනයේ Kunming ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟ වුනෙමු. එතැන් සිට තවත් පැය තුනක ගුවන් කාලයකින් පසු අප කණ්ඩායම ළඟා වුයේ හැංෂෞ (Hangzhou) ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙතයි. හැංෂෞ (Hangzhou) ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ලෝරා සහෝදරිය අප පිළිගනිමින්, හැංෂෞ සංචාරය පිළිබඳ පුර්ව විස්තරයක් ලබා දුන්නේය.
මෙම හැංෂෞ (Hangzhou) සංචාරයේ පෙර ගමන්කරුවා, උපදේශකයා වුයේ ශ්රී ලංකාවේ චීන සංස්කෘතික මධ්යස්ථානයේ ප්රධාන පරිපාලන නිලධාරී Ll Liangpei මහතායි. ඔහුගේ නායකත්වයෙන් අප කණ්ඩායම 2026-10 -15 වැනි දා හැංෂෞ (Hangzhou) සංචාරය ආරම්භ කෙළේ දන්නා දෙයින් නොදන්නා දේ සොයා යෑම සඳහාය.

චීනයේ නැඟෙනහිර වෙරළබඩ ප්රදේශයට ආසන්නව පිහිටි ෂෙජියැං (Zhejiang) පළාතේ අගනුවර වන හැංෂෞ (Hangzhou) නගරය, වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් නගරයකි. පුරාණ චීන ශිෂ්ටාචාරයේ සලකුණු, මනරම් ස්වාභාවික පරිසරය, ඓතිහාසික ගොඩනැගිලි සහ නවීන තාක්ෂණික සංවර්ධනය එකම භූමියක දැකගත හැකි වීම මෙම නගරයේ විශේෂත්වයයි.

හැංෂෞ නගරය පිළිබඳ කතා කිරීමේදී එහි වර්තමාන සංවර්ධනය පමණක් නොව, වසර 5,000කට පමණ පෙර පැවති ලියැංෂු (Liangzhu) ශිෂ්ටාචාරය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. අද හැංෂෞ නගරයට ආසන්න ප්රදේශයකින් හමුවන එම ශිෂ්ටාචාරයේ පුරාවිද්යාත්මක සාක්ෂි, චීනයේ මුල්කාලීන සමාජ සංවිධානය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග සහ සංකීර්ණ නාගරික ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අපට අනාවරණය කරයි.

ලියැංෂු ශිෂ්ටාචාරය: වසර 5,000කට පෙර ලෝකය
හැංෂෞ නගරයේ ඉතිහාසය පිළිබඳ අධ්යයනයේදී ලියැංෂු ශිෂ්ටාචාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ක්රිස්තු පූර්ව 3300ත් 2300ත් අතර කාලයේදී සමෘද්ධිමත් වූ මෙම ශිෂ්ටාචාරය, චීනයේ යැංසි ගංගා ඩෙල්ටා ප්රදේශයේ වර්ධනය වූ වැදගත් නවශිලා යුගයේ සංස්කෘතියක් බව ඉතිහාසය පිළිබඳ මා කළ අධ්යයනයේදී මැනවින් තහවුරු විය .
එහි පුරාවිද්යාත්මක නටබුන් අතර සැලසුම්සහගත ජනාවාස, විශාල ජල කළමනාකරණ පද්ධති, වාරිමාර්ග හා ජලය රඳවා තබාගැනීමේ ව්යුහයන් මෙන්ම උසස් ශිල්පීය නිපුණතාවකින් නිර්මාණය කළ ජේඩ් පාෂාණ කලාකෘති ද දක්නට ලැබේ.
මෙම සාක්ෂිවලින් පෙනී යන්නේ එම යුගයේ ජනතාව කෘෂිකර්මාන්තය පමණක් නොව, සමාජ සංවිධානය, ඉදිකිරීම් තාක්ෂණය සහ ආගමික හෝ චාරිත්රානුකූල කටයුතු සම්බන්ධයෙන් ද දියුණු අවබෝධයක් ලබා සිටි බවයි.
ලියැංෂු පුරාවිද්යාත්මක ස්ථානය 2019 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි. එඟින් මෙම ශිෂ්ටාචාරය චීනයේ පමණක් නොව, සමස්ත මානව ඉතිහාසයේම වැදගත් උරුමයක් බවට ජාත්යන්තර පිළිගැනීමක් ලැබිණි.

බටහිර විල: සොබාදහම හා සංස්කෘතිය එක් කළ උරුමය
හැංෂෞ නගරයේ අනන්යතාව පිළිබඳ කතා කිරීමේදී බටහිර විල (West Lake) අමතක කළ නොහැකි නැනකි. කඳු වැටි, උද්යාන, පාලම්, දූපත් සහ පැරණි චීන ගෘහ නිර්මාණ ශිල්පය සමඟ සම්බන්ධ වූ මෙම විල, චීනයේ සුන්දරත්වය නිරූපණය කරන ප්රකට ස්ථානයක් බව කිවයුතුය.
බටහිර විල ස්වාභාවික සුන්දරත්වයෙන් පමණක් වැදගත් නොවේ. එය චීන කවිය, චිත්ර කලාව, සාහිත්යය සහ උද්යාන නිර්මාණය කෙරෙහි දීර්ඝ කාලයක් පුරා බලපෑම් ඇති කළ සංස්කෘතික භූදර්ශනයකි.
විල අවට පිහිටි ඓතිහාසික පාලම්, පගෝඩා, පන්සල් සහ උද්යාන චීන ඉතිහාසයේ විවිධ යුගයන් සිහිපත් කරයි. ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සංස්කෘතික උරුමයන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද බටහිර විල වැදගත් උදාහරණයක් සපයයි. 2011 වසරේදී බටහිර විලේ සංස්කෘතික භූදර්ශනය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කැර ඇති බව මෙම සංචාරයේදී දැනගැනීමට ලැබුණි.
පුරාණ මහා ඇළ: ජල මාර්ගයකින් ගොඩනැගුණු ඉතිහාසය
හැංෂෞ නගරයේ ඉතිහාසය චීනයේ පුරාණ මහා ඇළ (Grand Canal) සමඟ ද සමීපව බැඳී පවතී. චීනයේ උතුරු හා දකුණු ප්රදේශ සම්බන්ධ කළ මෙම දැවැන්ත ජල මාර්ග පද්ධතිය, ඉතිහාසය පුරා වෙළෙඳාම, කෘෂිකර්මාන්තය, ප්රවාහනය සහ පාලන කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කැර ඇත.
හැංෂෞ නගරය එම ඇළ පද්ධතියේ දකුණු අන්තයට සම්බන්ධ ප්රධාන නගරයකි. අතීතයේදී මෙම ජල මාර්ග ඔස්සේ භාණ්ඩ ප්රවාහනය කිරීමත්, විවිධ ප්රදේශ අතර ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා වර්ධනය වීමත් සිදු වු බව පුරාවිද්යාත්මක තොරතුරුවලින් තහවුරු වෙයි.අද දක්නට ලැබෙන පැරණි ඇළ මාර්ග, ඓතිහාසික පාලම් සහ ඒ ආශ්රිත ජනාවාස, ජල සම්පත් උපයෝගී කැර ගනිමින් නගරයක් සහ රටක් ගොඩනැගුණු ආකාරය පිළිබඳ වැදගත් සාක්ෂි සපයයි.චීනයේ පුරාණ මහා ඇළ 2014 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම තවත් විශේෂත්වයකි.
දකුණු සොං රාජවංශයේ අගනුවර
හැංෂෞ නගරයේ ඓතිහාසික වැදගත්කම තවදුරටත් ඉහළ ගියේ දකුණු සොං රාජවංශ සමයේදීය. 1127 වසරේදී උතුරු චීනයේ කයිෆෙන්ග් නගරය ජුර්චෙන් ආක්රමණිකයන් අතට පත්වීමෙන් පසු සොං රාජවංශයේ දකුණු පාලනය ගොඩනැගුණි. 1138 වසරේදී ලින්ආන් (Lin’an) නමින් හැඳින්වූ හැංෂෞ එහි නිල අගනුවර බවට පත්ව තිබේ.
මෙම කාලයේදී හැංෂෞ වෙළෙඳාම, අත්කම් නිෂ්පාදනය, සාහිත්යය සහ කලා කටයුතු අතින් සමෘද්ධිමත් විය. නගරය තුළ විශාල ජනගහනයක් වාසය කළ අතර, දේශීය හා විදේශීය වෙළෙඳ සම්බන්ධතා ද වර්ධනය විය.
විශේෂයෙන් සේද රෙදි නිෂ්පාදනය, පිඟන් භාණ්ඩ, තේ සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ නගරයේ ආර්ථිකයට වැදගත් පිටුබලයක් සපයා ඇත.එබැවින් හැංෂෞ යනු පුරාණ උරුමයන් ආරක්ෂා කැරගත් නගරයක් පමණක් නොව, චීන ඉතිහාසයේ ප්රබල ආර්ථික හා සංස්කෘතික මධ්යස්ථානයක් ලෙස ද සැලකිය හැකිව තිබේ.

තේ සංස්කෘතියේ සුවඳ
හැංෂෞ නගරය චීනයේ තේ සංස්කෘතිය සමඟ ද සුවිශේෂී සම්බන්ධතාවක් පවත්වයි. විශේෂයෙන් ලොංජිං (Longjing) හෙවත් ඩ්රැගන් වෙල් තේ, මෙම ප්රදේශයට ජාත්යන්තර කීර්තියක් ලබා දී තිබේ.බටහිර විල අවට කඳුකර ප්රදේශවල වගා කරන ලොංජිං තේ, එහි සුවඳ, රසය සහ නිෂ්පාදන ක්රමය නිසා ප්රසිද්ධියට පත්ව තිබේ. තේ වගාව හා තේ පානය කිරීම චීන සමාජයේ දෛනික ජීවිතය, ආගන්තුක සත්කාරය සහ සංස්කෘතික සම්ප්රදායන් සමඟ බැඳී පවතී.
තේ වගාව, පරිසරය හා සංචාරක කර්මාන්තය එකට සම්බන්ධ කරමින් ප්රාදේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආකාරය ද හැංෂෞ ප්රදේශයෙදී දැකගත හැකි වීම විශේෂත්වයකි.
පුරාණ නගරයෙන් නවීන තාක්ෂණික මධ්යස්ථානයකට
හැංෂෞ නගරය අද ලෝකයේ අවධානය දිනාගෙන ඇත්තේ එහි ඓතිහාසික උරුමයන් නිසා පමණක් නොවේ. එය චීනයේ නවීන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය සහ නවෝත්පාදන ක්ෂේත්රවල වැදගත් මධ්යස්ථානයක් බවට පත්ව වීම නිසාය.
විශේෂයෙන් ඊ – වාණිජ්යය, මෘදුකාංග සංවර්ධනය, ඩිජිටල් ගෙවීම් සහ තාක්ෂණික ව්යවසායකත්වය සම්බන්ධයෙන් හැංෂෞ ප්රමුඛ නගරයකි. අලිබාබා (Alibaba) වැනි තාක්ෂණික ව්යාපාර සමඟ සම්බන්ධ වීම හේතුවෙන් නගරය ජාත්යන්තර අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් නගරයේ නවීන ප්රවාහන පහසුකම්, ව්යාපාරික කලාප, අධ්යාපන ආයතන සහ පර්යේෂණ මධ්යස්ථාන එහි ආර්ථික සංවර්ධනයට ප්රබල දායකත්වයක් සපයයි.
එසේ වුවද, නගරයේ නවීනත්වය එහි පුරාණ උරුමයන් අමතක කිරීමක් බවට පත්වී නැත. ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීම, සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සහ නවීන නාගරික පහසුකම් සංවර්ධනය කිරීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම හැංෂෞ (Hangzhou) නගරය මුහුණ දෙන වැදගත් අභියෝගයකි.

අතීතය සහ අනාගතය හමුවන නගරයක්
හැංෂෞ නගරය දෙස බලන විට පැහැදිලි වන කරුණක් වන්නේ, සංවර්ධනය යනු නව ගොඩනැගිලි ඉදිකිරීම හෝ තාක්ෂණය අත්පත් කැරගැනීම පමණක් නොවන බවයි.වසර 5,000කට පමණ පෙර පැවති ලියැංෂු ශිෂ්ටාචාරයේ ජල කළමනාකරණ පද්ධති, බටහිර විලේ සංස්කෘතික භූදර්ශනය, පුරාණ මහා ඇළේ ප්රවාහන ජාලය සහ දකුණු සොං රාජවංශයේ වෙළෙඳ සමෘද්ධිය යන සියල්ල නගරයේ වර්තමාන අනන්යතාව ලෝකයට කියාපෑමට දායක වී තිබේ.
ඒ අනුව හැංෂෞ යනු ඉතිහාසය කෞතුකාගාර තුළ සිර කැර තබන නගරයක් නොවේ. එය අතීතයෙන් උරුම වූ දැනුම, සංස්කෘතිය සහ පරිසරය නවීන සමාජයේ අවශ්යතා සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ කරන නගරයකි යන්න පෙන්වා දීම කිසිසේත් වැරදි නැත.
හැංෂෞ ලෝකයට ලබා දෙන පණිවුඩය
හැංෂෞ ( Hangzhou) නගරයේ අත්දැකීමෙන් ලෝකයට ලබාගත හැකි වැදගත් පාඩමක් වන්නේ, අනාගතය ගොඩනැගීමේදී අතීතය අමතක නොකළ යුතු බවයි.සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, ස්වාභාවික පරිසරය රැකගැනීම, දැනුම හා තාක්ෂණය දියුණු කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම එකිනෙකට පටහැනි අරමුණු විය යුතු නැත යන්න මෙහිදී පෙන්වා දීම වැදගත්ය.
වසර 5,000කට ආසන්න ඉතිහාසයකින් පෝෂණය වූ හැංෂෞ නගරය අද ලෝකය හමුවේ පෙනී සිටින්නේ අතීතය, වර්තමානය සහ අනාගතය එකට සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වන සජීවී උදාහරණයක් බව මගේ හැඟිමයි. හැංෂෞහි සැබෑ වටිනාකම එහි පැරණි උරුමයන් තුළ පමණක් නොව, එම උරුමයන් අනාගත පරම්පරාවට දායාද කිරීමට දරන උත්සාහය තුළ ද රැඳී පවතී යන්න කිවයුතුය.
පළමු කොටස

සටහන—
චන්දන විජේකෝන්
