
විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වී විදෙස් රටවල වීසා බලපත්‍ර ලබා ගත හැකි බවත්, වසර කිහිපයක රැකියා බලපත්‍ර ලබාගෙන පසුව පුරවැසිභාවය පවා ලබා ගත හැකි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන දැන්වීම් පිළිබවඳව මේ වන විට පැමිණිලි සිය ගණනක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහාන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විදේශ විශ්වවිද්‍යාල සඳහා බදවා ගැනීමේ දැන්වීම්වලට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කැර ගත් දෙමව්පියන් හා ශිෂ්‍යයන් මේ වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙතට සහ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව වෙත පැමිණි කැමින් පවතින බව අනාවරණය වෙයි.
මෙම ඇතැම් දැන්වීම් සම්පූර්ණයෙන්ම වංචනිකය. එම දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට කතා කළවිට ඔබට අසන්නට ලැබෙන විස්තර ඉතා ආකර්ෂණීය වෙයි.
නියෝජිතයන් ලෙස ඔවුන් පෙනී සිටින්නේ ලොව ඉහළම විශ්වවිද්‍යාල වෙනුවෙනි. ලියාපදිංචි ගාස්තු සහ පළමු අධ්‍යයන වාරයට පමණක් මුදල් ගෙවා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බවත්, ඉන් පසු සිසුවාට රැකියාවක් සොයාගෙන නවාතැන් සහ ආහාර සඳහා මුදල් සොයාගත හැකි බවටත් ඉතා ආකර්ෂණීය ලෙස ඔවුහූ පවසති. ඉන්පසු තිබෙන අධ්‍යයන වාරයන් (Semester) සදහා ශිෂ්‍යත්ව පවා දිනා ගැනීමේ හැකියාව පවතින බව ඔවුන් දන්වා සිටිති.
ඊමේල් ගොනුවක් හෝ WhatsApp සමූහයක් සාදා ගන්නා ලෙසත් ඔවුන් දැනුම් දෙනු ලැබේ. ඒවාට එවනු ලබන්නේද අදාළ විශ්වවිද්‍යාලවල වීඩියෝ, ඡායාරූප සහ තොරතුරුය. එම වීඩියෝ සහ ඡායාරූප ඔන්ලයින් ඔස්සේ සොරාගත් ඒවා බවට සැක කළ නොහැකි තරමට මෙම වංචාකරුවන් ඉතා සූක්ෂ්මව විස්තර ඉදිරිපත් කරති. ලියාපදිංචිය සඳහා වන ලිපිගොනු ඇතුළත් ලේඛනද අදාළ විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරනු ලබන ලේඛන හා සමානය.
ඉන් පසුව මුදල් බැර කිරීම සදහා ඔවුන් ලබා දෙනු ලබන්නේද විදේශ ගිණුම් අංකය. මේ හරහා සැකයක් ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ ඔවුන් විසින් වසා දමනු ලබති.
මෙයට රැවටී ලියාපදිංචි ගාස්තු,මුල් අධ්‍යයන කාලසීමාව සඳහා ගාස්තු ලෙස රුපියල් ලක්ෂ ගණනක් බැරකළ පසු මෙම වංචනිකයන් අතුරුදහන්වෙති.
එබැවින් අන්තර්ජාලය ඔස්සේ පළ කෙරෙන මෙවැනි දැන්වීම්වලට හසුනොවන ලෙසත් නීත්‍යනුකූල අකාරයෙන් සේවා සපයන විශ්වවිද්‍යාල නියෝජිතයන් පමණක් තෝරා ගන්න ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම පුද්ගලයන් ලබාදෙන ලේඛනවල නිර්වද්‍යතාවය මෙන්ම ගිණුම් අංක පිළිබඳව ද පරීක්ෂාවෙන් සිටින ලෙසත් CERT ආයතනය තවදුරටත් ඉල්ලා සිටී.
