
පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 130කට අධික මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් වරදකරු වූ රාජ්‍ය බැංකුවක හිටපු ප්‍රධාන මුදල් අයකැමියකුට හෝමාගම මහාධිකරණය පසුගිය දා වසර 35ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙළේය.
එම දඬුවම් වසර 15ක කාලයක් තුළ එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක වීමට නියම කෙරිණි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ තැන්පත් කැර තිබූ රුපියල් 135,102,975ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරු වරදකරු වී ඇති බව අනාවරණය වෙයි.
සිර දඬුවමට අමතරව, සාවද්‍ය පරිහරණය කරන ලද රුපියල් 135,102,975ක සම්පූර්ණ මුදල අදාළ රාජ්‍ය බැංකුවට වන්දි වශයෙන් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙළේය.
එම වන්දි මුදල නොගෙවන්නේ නම්, අතිරේක වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වනු ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කෙළේය.
