
දිගින් දිගටම ඉරාන නාවික මාර්ග අවහිර කිරීම හේතුවෙන් අමෙරිකානු යුද නැවකට සහ ගුවන්යානා ප්‍රවාහන නෞකාවකට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන විප්ලවීය හමුදාවේ ගුවන් බළකාය ප්‍රකාශ කර තිබේ.
එරට ටස්නීම් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ අමෙරිකානු හමුදාවේ උපදෙස් මත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැව් 8කටත් ඉරාන හමුදාවෙන් පහර දුන් බවය. වසර ගණනාවක් පුරා අරාබි මුහුදේ අණසක පතුරුවාලීමට උත්සාහ කරමින් සිටින අමෙරිකාවට සිය යුද නැව් දෙකක් ප්‍රහාරයට ලක්වූ බව පිළිගැනීමට සිදුවනු ඇතැයි ද ඉරාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ බව ටස්නීම් පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය ද එම ප්‍රහාරය තහවුරු කර ඇති බවත්, ඉරාන නාවික අවහිරතාව තවදුරටත් පවතින්නේ නම් සිය ප්‍රහාරවලට මුහුණ දීමට අමෙරිකානු නෞකාවලට සිදුවනු ඇති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබේ.
අමෙරිකානු හමුදාවේ උපදෙස්වලට අවනත වී තහනම් කරන ලද නාවික මාර්ගවලින් යාත්‍රා කිරීමට උත්සාහ නොගන්නා ලෙස ඉරාන හමුදාව පර්සියානු බොක්ක සහ හෝමූස් මුහුදු තීරය ආසන්නයේ රැඳී සිටින සියලු නෞකාවලට දැනුම් දී ඇතැයි ද ටස්නීම් පුවත් සේවය සඳහන් කළේය. අමෙරිකාවට අයත් මිනිසුන් රහිත සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් බව ද ඊට පෙර දින ඉරාන හමුදාව ප්‍රකාශ කර ඇති අතර, එම සබ්මැරීනය අතිනවීන තාක්ෂණය භාවිත කරමින් ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරන Dive-LD වර්ගයට අයත් බව ද සඳහන් කර තිබේ.(දිනමිණ)
