
යුරෝපා සංගමයෙන් පාකිස්තානයට ලබා දී ඇති GSP + සහනය අහිමි වීමේ අවදානමක් මතු වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කැර තිබේ.
වසර 2014 සිට හඳුන්වා දුන් මේ සහනය මඟින් පාකිස්තාන ආර්ථිකයට ඉමහත් ප්රතිලාභ ලැබී ඇති අතර, තවදුරටත් අඛණ්ඩව වෙළෙඳ සහන ලබා ගත හැකියැයි උපකල්පනය කළ නොහැකි බව යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ.
දැනට පවතින ජීඑස්පී ප්ලස් සහන යෝජනා ක්‍රමය මේ වසර අවසානයේදී අවසන් වීමට නියමිත අතර, පාකිස්තානයේ උත්සාහය වී ඇත්තේ දැඩි කොන්දේසි සහිත ඊළඟ අදියර සඳහා ප්රවේශවීමට බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වන විට එරට උද්ගත වී ඇති ආගමික සුළුතර ප්‍රජාවගේ අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සුරැකීමේ ගැටලුව විසඳීමට පාකිස්තාන රජය අසමත් වුවහොත් ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත් නොලැබෙනු ඇතැයි පාකිස්තානයේ යුරෝපා සංගම් තානාපති රයිමුන්ඩාස් කාර්බ්ලිස් අනතුරු ඇඟවූ බව වාර්තා වේ. පාකිස්තානය නැවත ජීඑස්පී සහනය අයදුම් කිරීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතීන් ක්‍රියාත්මක කිරිම තීරණාත්මක සාධකයක් විය හැකි බව ද ඔහු සඳහන් කැර තිබේ.
මේ අවදානම මතු වී ඇත්තේ පාකිස්තානයේ ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගමික සුළුතරයන්ට දක්වන සැලකිල්ල සම්බන්ධව ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්රියාකාරිකයන් දැඩි කනස්සල්ල පළ කර ඇති අවස්ථාවකදී බව ද වාර්තා වේ. විශේෂයෙන් ආගමික අපහාස චෝදනා, බලහත්කාරයෙන් ආගම වෙනස් කරවීම්, ළමා විවාහ, සුළුතර ප්‍රජාවගේ ආගමික ස්ථානවලට පහරදීම සහ නීතිය ප්‍රායෝගිකව භාවිත කිරිමේදී සිදුවන වෙනස්කම් පිළිබඳ පාකිස්තාන රජයට මානව හිමිකම් ක්රියාකාරිකයන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ.
වත්මන් ජීඑස්පී ප්ලස් යෝජනා ක්‍රමය යටතේ යුරෝපා සංගමය වෙත සිදුවන අපනයනයන් සඳහා පාකිස්තානයට විශාල තීරුබදු සහන හිමිවන අතර, එමඟින් ලැබෙන ප්‍රතිලාභය යුරෝ මිලියන 732ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.(දිනමිණ)
මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය, දේශගුණික විපර්යාස සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරිම ඇතුළු කොන්දේසි ගණනාවක් එම යෝජනා ක්‍රමය සමඟ බැඳී පවතින අතර, ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීමට දැනට එකඟ විය යුතු කොන්දේසි 27 වෙනුවට ඉදිරියේදී යෝජිත නව පද්ධතිය යටතේ එම කොන්දේසි ගණන 32 දක්වා ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ.
