
ගාසා තීරයේදී සෑම රාත්‍රියකදීම පුද්ගලයන් 30ක් හෝ 40ක් ඝාතනය කළ යුතු බවට ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක ඇමැති ඉටාමර් බෙන් ග්වීර් සිදු කැර ඇති ආන්දෝලාත්මක ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වී ඇතැයි Cyber World Press වාර්තා කරයි. ගාසා තීරයේ සිටින ඇතැම් පුද්ගලයන් ජීවත්වීමට සුදුසු නැති බව ද ඔහු සඳහන් කැර තිබේ.

2023 ඔක්තෝබරයේදී හමාස් සංවිධානය ඊශ්‍රායලයෙන් පැහැරගෙන ගොස් රඳවා තබා පසුව නිදහස් කළ රොම් බ්රැස්ලාව්ස්කි නමැති ඊශ්‍රායල ජාතිකයකු සමඟ පොඩ්කාස්ට් සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කැර තිබේ.
ඉලක්ක කරගත යුතු වන්නේ ඊශ්‍රායලට තර්ජනයක් එල්ල කරන පුද්ගලයන් පමණක් නොවන බවත් සඳහන් කර ඇති ආරක්ෂක ඇමැතිවරයා පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන ප්‍රහාර ඉහළ දමන ලෙස ද ඉල්ලීමක් කැර තිබේ. එම සාකච්ඡාවේදී ඔහු පලස්තීන ජනතාව හැඳින්වීම සඳහා ඉතා පහත් අමානුෂික වදන් භාවිත කැර ඇති අතර, ඔහුගේ මේ ප්‍රකාශය ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට ලක්වී තිබේ.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයේ ප්‍රබල ඇමැතිවරයකු වන ඉටාමර් බෙන් ග්වීර් එරට පොලිස් සහ බන්ධනාගාර ඇමැතිවරයා ද වන අතර, ගාසා යුද්ධය ආරම්භයේ සිටම ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන් ඝාතනය කිරිම සඳහා දිරිගැන්වීමේ ප්‍රකාශ නිකුත් කැර ඇතැයි ද වාර්තා වේ. ගාසා තීරයට ස්ථීර සාමයක් සඳහා ජාත්‍යන්තර රටවල් දැඩි උත්සාහයක නිරතවන අවස්ථාවක එරට ආරක්ෂක ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් සිදු කිරිම එම සාම සැලසුමට බරපතළ බාධාවක් වනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.( දිනමිණ ඇසුරෙන්)
