
රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කෙළේය.
ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ විමර්ශනවලට බලපෑම් කිරීම සහ ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවා ගැනීම් සිදුකර කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, සඳගල නඩුවට අදාළව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රූපවාහිනී සංස්ථා සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.

සඳගල පුරාවස්තු සිද්ධිය සහ විමර්ශන බාධා කිරීම් චෝදනාව
මහනුවර රාජධානියේ අවසන් සිංහල රජු වන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ පිහිටි මාලිගා පිවිසුම් පියගැටපෙළේ පැවති ‘සඳගල’ පුරාවස්තුව සොරකම් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කැර ඇත.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සැකකරු ඇමැති ධුරය දරමින් සිටියදී සිය පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මෙම සිද්ධියෙන් මුදාගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කරමින් දූෂණය, ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය යන වැරදි සිදුකර ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් සිද්ධිය විමර්ශනය කරද්දී, එවකට මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක, පල්ලේකැලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සහ මහනුවර කොට්ඨාශ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක යන නිලධාරීන් තිදෙනා අමාත්‍ය නිල නිවෙසට කැඳවා විමසීම් කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අමතා සිය පුත්‍රයාගේ නඩුව පිළිබඳ විමසා ඇති බවත් කොමිසම පැවසීය.
මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ සාක්ෂි තිබේ දැයි විමසූ අවස්ථාවේදී, නිල නිවෙසට ගිය පොලිස් නිලධාරීන් තිදෙනා එම කරුණ තහවුරු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කෙළේය. තවදුරටත් කරුණු දැක්වූ කොමිසම, මෙම සිද්ධියට අදාළ වැදගත් සාක්ෂිකරුවකු වන රොෂාන් කදනගේ නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කැරගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
රූපවාහිනී සංස්ථාවට පාඩු සිදුකිරීම සහ අධිකරණයේ තීන්දුව
දෙවැනි නඩුව මගින් අල්ලස් කොමිසම චෝදනා කළේ, ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී රාජ්‍ය කළමනාකරණ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රූපවාහිනී සංස්ථාවට කාර්යාල සහායකයින් දෙදෙනෙකු සහ රියැදුරන් සිව්දෙනෙකු අනවශ්‍ය ලෙස බඳවාගෙන රුපියල් 14,325,422.83 ක මුදලක් රජයට පාඩු කළ බවයි.
මෙම සිද්ධියට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කැර ගැනීමට ඇති බව අල්ලස් කොමිසම පැවසූ අවස්ථාවේදී, “අවුරුදු හතක් තිස්සේ විමර්ශන කටයුතු සිදුකර අධ්‍යක්ෂවරුන්ගේ නම් දන්නේ නැද්ද?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා කොමිසමෙන් ප්‍රශ්න කෙළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණයට කරුණු දක්වමින්, තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටි අතර මෙම විමර්ශනය 2010 වසරේදී ආරම්භ වූවක් බවද පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවේ අනාවරණය නොවන බව සඳහන් කරමින් නියමිත කොන්දේසි සහිතව සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කෙළේය. ( The Leader අසුරෙන්)
