Impartial news reporting for a stronger democratic society
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම : අගෝස්තු 18 වැනි දා දක්වා අකිල විරාජ් රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත සේවකයන් පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රුපියල් 2,768,836.14ක (රුපියල් ලක්ෂ 27කට අධික) රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා  එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සහ හිටපු  ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් ලබන අගෝස්තු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත  නියෝග කැර ඇති.

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සහ හිටපු ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් ලබන අගෝස්තු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්  ඇමැතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.


අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම් සහ විත්තියේ තර්ක

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, 2022 වසරේදී හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කළ සමයේ අමාත්‍යාංශ සේවකයන් සහ තාවකාලික සේවකයන් බඳවාගෙන, ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ පෞද්ගලික ඉන්ධන හලේ රාජකාරි සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවෙකු මුලින් ලබාදුන් ප්‍රකාශයට පටහැනිව පසුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිටුපස කිසියම් බලපෑමක් පැවැතිය හැකි බවත්, ඉදිරිපත් කළ ඇතැම් ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට සැකකෙරෙන බැවින් ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා විය හැකි බවත් කොමිසම සඳහන් කෙළේය.

ඊට පිළිතුරු දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් ප්‍රකාශ කෙළේ අදාළ සේවකයන් කටයුතු කෙළේ කුලියාපිටිය ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය සම්බන්ධීකරණ කාර්යාලයේ බවත්, ඔවුන් ඉන්ධන හලේ රාජකාරි නොකළ බවත්ය. සේවකයන්ගේ පැමිණීමේ ලේඛන ද අල්ලස් කොමිසමට භාරදී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ අධිකරණ පරිශ්‍රයේ සිදුවීම

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවී ඇති බවට සහ ලේඛන විකෘති කර ඇති බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු මත ඇප පනත අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව සැකකරු අගෝස්තු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, විත්තිය ඉදිරිපත් කළ පැමිණීමේ ලේඛන පිළිබඳව ද පරීක්ෂණ පවත්වා මීළඟ නඩු වාරයේදී වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

මේ අතර, නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි අකිල විරාජ් කාරියවසම් සිය නීතිඥවරුන් සමඟ කතාබහක නිරත වීම කෙරෙහි මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවධානය යොමු විය. අධිකරණ කටයුතුවලට බාධා වන මෙවැනි ක්‍රියාවලට තම අධිකරණය තුළ ඉඩ නොතබන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් අවවාද කෙළේය.

Source-The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp