Impartial news reporting for a stronger democratic society
ඉදිරිපෙළ සටන් බිමේ දී යුක්‍රේනයට බරපතළ පරාජයන් රැසක් ! – නගර රැසක් යුක්‍රේනයට අහිමි වෙයි – AMK Mapping හෙළි කරයි

රුසියානු -යුක්‍රේනය  යුධ බිමේ දී යුක්‍රේනය බරපතළ පරාජයකට මුහුණ දෙම්න් සිටින බව AMK Mapping වාර්තා වෙයි.

. AMK Mapping යනු ඔස්ට්‍රේලියාව පදනම් කරගත් රුසියානු – යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග අර්බුදය ඇතුළු ලෝකයේ ප්‍රධාන භූ දේශපාලනික සහ හමුදාමය ගැටුම් පිළිබඳ තත් කාලීන සහ විස්තරාත්මක සිතියම්ගත කිරීම් සිදු කරන ප්‍රමුඛතම මූලාශ්‍ර බුද්ධි තොරතුරු විශ්ලේෂණ ආයතනයකි.

ඔවුන් පවසන අන්දමට යුක්‍රේනය ඊසාන දිගින් පිහිටි කාර්කිව් (Kharkiv) ප්‍රදේශයේදී රුසියාව ප්‍රදේශ දෙකකින් සාර්ථක ලෙස යුක්‍රේන ආරක්ෂක වළලු බිඳදමා ඇත. එමඟින් යුක්‍රේන පාලනය යටතේ පවතින වර්ග කිලෝමීටර් 360 කට වැඩි භූමි ප්‍රදේශයක් වටලෑමේ තර්ජනයක් මතු කර ඇති බවයි ඔවුන් සිය X හී සටහන් කැර ඇත.

ඩොබ්‍රොපිලියා (Dobropillya) දෙසින් වසරකට වැඩි කාලයක් තිස්සේ නොසැලී පැවති යුක්‍රේනයේ ප්‍රබලතම බලකොටුවක් බිඳදමා ඇති අතර, පොක්‍රොව්ස්ක් (Pokrovsk) සහ ඩොබ්‍රොපිලියා අතර නාගරික කලාපයේ පිහිටි යුක්‍රේන ආරක්ෂක ස්ථාන වෙත රුසියානු බලකායන් මේ වන විට කඩා වැදෙමින් සිටී.

ක්‍රමටෝර්ස්ක්/ස්ලෝවියන්ස්ක් (Kramatorsk/Slovyansk) දෙසින්, රුසියානු ඉදිරිගමන මන්දගාමී කිරීමට යුක්‍රේනය අසමත් වී ඇති බව පවසන AMK Mapping, රුසියානු හමුදාව ස්ලෝවියන්ස්ක් සහ ක්‍රමටෝර්ස්ක් යන නගර දෙකටම කිලෝමීටර් 4.7 ක් තරම් ආසන්නයට පැමිණ තිබෙන බව අනාවරණය කරයි. එමෙන්ම ඩොන්බාස් කලාපයේ පිහිටි මෙම අවසාන ප්‍රධාන නගර දෙකට නැඟෙනහිරින් පිහිටි අතිශය තීරණාත්මක උපායමාර්ගික කඳුවැටිය සම්පූර්ණයෙන්ම තම පාලනයට ගැනීමටද රුසියාව ආසන්න වී ඇත.

කොස්තියාන්තිනිව්කා (Kostyantynivka) දෙසින්, දින 840 ක දැඩි සටන්වලින් පසුව චාසිව් යාර් (Chasiv Yar) නගරය අල්ලා ගැනීමට රුසියාව සමත් වී ඇත. ඒ සමඟම යුක්‍රේනයේ කොස්තියාන්තිනිව්කා නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමට ආසන්නව සිටී. යුක්‍රේන හමුදාවන් පසුබැසීමත් සමඟ චාසිව් යාර් නගරයට බටහිරින් පිහිටි යුක්‍රේන ඉදිරි ආරක්ෂක බිම් තීරුව දිනෙන් දින කඩාවැටෙමින් පවතී.

දෘෂ්කිව්කා (Druzhkivka) දෙසින්රුසියාව කිලෝමීටර් 6 ක් දක්වා ප්‍රදේශයකින් ආරක්ෂක වළලු බිඳගෙන ඉදිරියට පැමිණ ඇත. ගම්මාන 3 ක් අල්ලාගෙන තවත් ගම්මාන 3 කට ඇතුළු වී තිබේ. ඒ අනුව දෘෂ්කිව්කා නගරයට කිලෝමීටර් 5.1 ක් තරම් ආසන්නයට පැමිණ ඇති රුසියානු හමුදාව, කොස්තියාන්තිනිව්කාට බටහිරින් පිහිටි යුක්‍රේන බලඇණි වටලෑමේ තර්ජනයක්ද මතුකර ඇත.

ඔමෙල්නික් (Omelnyk) දෙසින්, මාස 7 කට වැඩි සටනකින් පසුව යුක්‍රේන බලකොටුවක් වූ සාලිස්නිච්නේ (Zaliznychne) නගරය අත්පත් කරගැනීමට රුසියාව අවසානයේ සමත් වී තිබේ. හයිචුර් (Haichur) ගඟට බටහිරින් වොස්දිව්ෂිව්කා (Vozdyvzhivka) දෙසට රුසියානු හමුදා ඉදිරියට එමින් සිටින බව AMK Mapping සඳහන් කරයි.

ස්ටෙප්නොහියර්ස්ක් (Stepnohirsk) දෙසින් යුක්‍රේනය එල්ල කළ ප්‍රතිප්‍රහාර නතර කිරීමට රුසියාව සමත් වී ඇති අතර, කැමියන්ස්කේ (Kamyanske) හි ඊසාන දෙසින් සහ මාලි ෂචර්බකි (Mali Shcherbaky) හි උතුරු දෙසින් ඉදිරියට යමින් මීට පෙර අහිමි වූ භූමි ප්‍රදේශ නැවත අත්පත් කැරගැනීමට පටන් ගෙන තිබේ.

කුපියන්ස්ක් (Kupyansk) දෙසින් ඔස්කිල් (Oskil) ගඟට නැගෙනහිරින් පිහිටි යුක්‍රේනයේ අතිශය තීරණාත්මක ඉදිරි හමුදා මධ්‍යස්ථානය (bridgehead) දිනෙන් දින කුඩා වෙමින් පවතී. නොවොසිනොවේ (Novosynove), කිව්ෂාරිව්කා (Kivsharivka), පිෂ්චානේ (Pishchane), පෙට්‍රොපාව්ලිව්කා (Petropavlivka) සහ කුපියන්ස්ක් නගරය ආශ්‍රිතව රුසියානු හමුදාවන් සිය පාලන බලප්‍රදේශය පුළුල් කරමින් සිටී.

AMK Mapping පවසන ආකාරයට නුදුරේ දීම ඉදිරිපෙළ සටන් බිම පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන අතිශය වැදගත් ආරක්ෂක ස්ථාන යුක්‍රේනයට අහිමි වෙමින් පවතියි. විශේෂයෙන්ම ඩොබ්‍රොපිලියා හි දකුණු දෙසින් පිහිටි ප්‍රදේශ මීට පෙර මෙතරම් වේගයෙන් කඩාවැටීමට නොතිබුණි. කෙසේ වෙතත්, යුක්‍රේනය සිය ප්‍රහාරක බලකායන් ලිමන් (Lyman) හි උතුරින්, කොමාර් (Komar) හි බටහිරින් සහ නොවොපාව්ලිව්කා (Novopavlivka) හි දකුණු දෙසින් එල්ල කරන ප්‍රතිප්‍රහාර සඳහා යෙදවීමට අදහස් කරගෙන සිටින බව පෙනෙන බවයි ඔවුන් කියන්නේ. නමුත් දැරීමට සිදුවන විශාල හානිය හා සසඳන විට එහි උපායමාර්ගික සාධාරණත්වය පැහැදිලි නැත.

AMK Mapping වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ නව හමුදාපති මයිකයිලෝ ද්‍රපතී (Mykhailo Drapatyi) හට භාර ගැනීමට සිදුව ඇත්තේ දිනෙන් දින නරක අතට හැරෙන තත්ත්වයකි. ග්‍රීෂ්ම ඍතුව අවසන් වීමට ප්‍රථම මෙය පාලනය කරගැනීමට නම් ඔහුට දැඩි සහ අභියෝගාත්මක තීරණ කිහිපයක් ගැනීමට සිදුවනු ඇත. ( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp