Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල බලපත්‍ර නැති  වෙබ් අඩවි 24කට වැඩ වරදී !

විදේශීය අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් සඳහා මෙරට සිට පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛ පෙළේ මෙම  වෙබ් අඩවි 24 තහනමට ලක්කැර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් කරන ලද නිල දැනුම්දීමකට අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත.
2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act) 15, 16 සහ 18 වගන්ති ප්‍රකාරව නියමිත බලපත්‍ර නොමැතිව මෙරට තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යෑම මෙන්ම ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව, අදාළ වෙබ් අඩවි වෙත පිවිසීමේ මංපෙත් අවහිර කරන ලෙස සියලුම දේශීය විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත TRCSL මගින් උපදෙස් නිකුත් කැර තිබේ.
තහනමට ලක්වූ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙබ් අඩවි

මෙසේ ශ්‍රී ලංකාව තුළ අවහිර කර ඇති අඩවි අතර ජාත්‍යන්තරව ප්‍රචලිත වෙබ් අඩවි 24ක් ඇතුළත් වේ. ඒවා නම්,

1. 1xbet.com
2. betway.com/en-lk
3. 22bet.com
4. melbet.com
5. unibet.com
6. betfair.com
7. dafabet.com
8. bet365.com
9. 1win.com
10. spinbetter.com
11. 10cric.com
12. bc.game
13. megapari.com
14. pin-up.bet
15. stake.com
16. mostbet.com
17. parimatch.com
18. betwinner.com
19. linebet.com
20. 4rabet.com
21. rajabets.com
22. dbbet.com
23. coldbet.com
24. WinWin

මෙම අවසර නොලත් අන්තර්ජාල සූදු වේදිකා (Online Gambling Platforms) හරහා වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් විදේශීය සමාගම් වෙත ඇදී යෑමේ අවදානමක් පැවැති අතර, නීතිමය රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක වන මෙවැනි අඩවිවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආර්ථික සුරක්ෂිතතාව සහ නියාමන පද්ධතියේ ඉදිරි පියවර

මෙරට අභ්‍යන්තර මූල්‍ය පරිපථය ආරක්ෂා කැරගැනීම සහ තරුණ පරපුර නීති විරෝධී මූල්‍ය ගනුදෙනුවලට යොමු වීම වැළැක්වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණක් වී තිබේ. විධිමත් බලපත්‍ර සහ රාජ්‍ය බදු ක්‍රමවේදවලට යටත් නොවී ක්‍රියාත්මක වන අන්තර්ජාල සූදු ජාලයන් නියාමනය කිරීම මගින් අනිසි ලෙස පිටතට ඇදී යන ජාතික ධනය නතර කැර ගැනීමට ද අපේක්ෂා කෙරේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මහජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ නීතිවිරෝධී ඩිජිටල් ක්‍රියාකාරකම් නියාමනය කිරීම උදෙසා ඉදිරියටත් අවශ්‍ය නෛතික සහ තාක්ෂණික පියවර අඛණ්ඩව ගන්නා බවයි.

(ජේ. මුණසිංහ )

Follow by Email
LinkedIn
Share
WhatsApp