
අමෙරිකා – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඝාතනය වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සහ අනිකුත් පුරවැසියන්ගේ අභාවයන්ට සාධාරණයක් ඉටු කරමින් පළිගන්නා බව වත්මන් උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා කමේනි නිවේදනය කැර ඇතැයි Cyber World Press ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් සඳහාන් කරයි.
රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ලිඛිත ප්‍රකාශයක් මඟින් ඔහු අවධාරණය කැර ඇත්තේ, මෙම පළිගැනීම මුළු මහත් ඉරාන ජාතියේම ඉල්ලීමක් වන අතර, එය අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවයි.
එසේම මෙම මෙහෙයුම ඉරානය මත පමණක් නොව, ලොව පුරා සිටින ‘නිදහස් මතධාරී ජනතාවගේ’ ක්‍රියාකලාපය මතද රඳා පවතින බව එහි සඳහන් වේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, මාර්තු 8 වැනිදා ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තබා කමේනි ප්‍රසිද්ධියේ නිකුත් කළ පළමු නිල පණිවිඩය මෙය වෙයි.
අදාළ ගුවන් ප්‍රහාරයේදී ඔහුගේ මුහුණට සහ ශරීරයට බරපතළ තුවාල සිදු වූ බව ආරක්ෂක අංශ මූලාශ්‍ර වාර්තා කැර ඇති අතර, නව තනතුරට පත්වීමෙන් පසුව ද ඔහුගේ කිසිදු ඡායාරූපයක්, වීඩියෝවක් හෝ හඬ පටයක් මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් වී නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් ඉරාන ජනතාව තුළ යම් අවිනිශ්චිතතාවයක් මතුව ඇති අතර, නායකයා තුවාල ලබා සිටිය ද ඔහු ජනතාව හමුවට පැමිණිය යුතු බවට මත පළ වෙමින් පවතී.
මේ අතර, සිව්මසක් තිස්සේ පැවති යුද වාතාවරණය නිමා කිරීම සඳහා වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඇති කැර ගත් සටන්විරාම ගිවිසුම, මේ සතියේ දෙපාර්ශ්වය අතර හුවමාරු වූ අන්‍යෝන්‍ය ප්‍රහාර හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, සටන්විරාමය බිඳ වැටී ඇතැයි ප්‍රකාශ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා කියා සිටියේ, ගැටුම් සමනය කැර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යෑමට එකඟ වී ඇති බවයි. මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් දින කිහිපයක් පුරා පැවති හිටපු නායක අලි කමේනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා ඉරානයේ පූජනීය ස්ථානයකදී නිමාවට පත් කෙරුණු බව Cyber World Press සඳහාන් කරයි.
