
අමෙරිකාව සමඟ සාම ගිවිසුමකට එළැඹීම සඳහා සාකච්ඡා කිරීමට ඉරාන නියෝජිතයන් කටාර් රාජ්‍යයට එක්රැස්වී සිටියදී අමෙරිකානු හමුදාව දකුණු ඉරානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරිම පිළිබඳව යුධ විරෝධි ජාත්‍යන්තර සංවිධාන රැසක් ට්‍රම්ප් පාලනයට දැඩි විරෝධය පළ කැර අතැයි විදෙස් මාධ්‍ය ඊයේ (27) වාර්තා කළ බව Cyber World Press සඳහාන් කැර තිබේ.
අමෙරිකාවේ මධ්‍යම අණදෙන හමුදා මධ්‍යස්ථානය නිවේදනය කැර ඇත්තේ, ඉරාන හමුදාවෙන් අමෙරිකානු හමුදාවට එල්ල වන තර්ජන හේතුවෙන් ආත්මාරක්ෂාව සඳහා එම ප්‍රහාරය එල්ල කළ බවයි.
දකුණු ඉරානයේ ස්ථාපිත කැර ඇති මිසයිල එල්ල කිරීමේ පද්ධතිවලට සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බ සවි කරන ඉරාන හමුදාවේ බෝට්ටු ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන හමුදා මධ්‍යස්ථානයේ ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් සඳහන් කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කැර තිබේ.
ඉරානයේ බන්දර් අබ්බාස් වරාය නගරය සහ ඉරාන නාවික හමුදා කඳවුරු ඉලක්ක කරමින් පහර දුන් බව කපිතාන් ටිම් හෝකින්ස් සඳහන් කළ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කැර තිබේ. දෙපාර්ශ්වය අතර සටන් විරාමය අතරතුර ඉරාන හමුදාවේ තර්ජනවලින් සිය හමුදාව ආරක්ෂා කිරීමට අඛණ්ඩව පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු මධ්‍යම අණදෙන හමුදා මධ්‍යස්ථානය වැඩිදුර තොරතුරු අනාවරණය නොකළද, එම ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කෙළේය. අමෙරිකානු ගුවන් ප්‍රහාරයට ඉරාන පාර්ශ්වයෙන් ඊයේ පස්වරුව වන විටත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර, එම ප්‍රහාරයෙන් අමෙරිකා- ඉරාන සාම ගිවිසුමට බලපෑම් එල්ල විය හැකි බවට ද දේශපාලන විශ්ලේෂකයන් අදහස් පළ කැර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පෙබරවාරි මස 28 වැනිදා ආරම්භ කළ යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ 8 වැනිදා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉරානයට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වේ.
