
වත්මන් සමාජය තුළ පැන නැගී ඇති බරපතළ ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි “ශාසන ශෝධන” වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කැර තිබේ.
එම ලිපියේ මෙසේ සඳහාන් වේ.
වත්මන් බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා බරපතළ සහ සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දී ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය, මෙම තත්ත්වයෙන් සසුන මුදා ගැනීම සඳහා වහාම මැදිහත් වී ධර්ම සංගායනාවක් පැවැත්වීමට පෙරමුණ ගන්නා ලෙස මහානායක හිමිවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.
“වරප්‍රසාද ලබන්නන් එදා අපේ උත්සාහයන් ව්‍යර්ථ කළා”
නිදහසින් පසු 1956 බණ්ඩාරනායක පාලන සමයේදී මෙන්ම, තමන් ජනාධිපති ධුරය දැරූ කාල වකවානුවේදී ද අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ මෙවැනි ශාසනික ප්‍රතිසංස්කරණ සහ ධර්ම සංගායනාවක් පැවැත්වීමට දැඩි උත්සාහයක් ගත් බව ඇය සිහිපත් කරයි.
එහෙත් සසුනේ පවතින අර්බුද සහ විවිධ විෂමාචාර ක්‍රියා හරහා අයුතු වරප්‍රසාද භුක්ති විඳින පාර්ශ්වයන්ගේ සහ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ දැඩි විරෝධය හේතුවෙන් එදා එම සත්ක්‍රියාවන් ව්‍යර්ථ වූ බවද ඇය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
කලින් කලට සමාජ මාධ්‍ය හෝ පොදු සමාජය තුළ දැඩි කතාබහට ලක්වන හුදකලා සිදුවීම් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තාවකාලික විසඳුම් සෙවීමට උත්සාහ කිරීමෙන් සැබෑ ශාසනික අර්බුදය යටපත් වන බව ඇය අවධාරණය කරයි. එම නිසා සමස්ත ශාසනික පද්ධතියේම සුරක්ෂිතතාව වෙනුවෙන් කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන ස්ථිර විසඳුම් සෙවිය යුතු අතර, ඒ සඳහා මහා සංඝරත්නය කේන්ද්‍ර කරගත් පුළුල් අභ්‍යන්තර සංවාදයක් වහාම ඇරඹිය යුතු බව හිටපු ජනාධිපතිනියගේ අදහසයි.
මෙම ඓතිහාසික සහ භාරදූර කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පහසුකම් සැලසීමට සහ සංවිධාන කටයුතු වෙනුවෙන් දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමග එක්ව තම උපරිම දායකත්වය සහ සහයෝගය ලබාදීමට සූදානම් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

