
ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල් රෙජිමය ගෙන යන යුද්ධය අවසන් කළ හැකි ගිවිසුමක් පිළිබඳ අපේක්ෂාවෙන් බොර තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳ පොළද ඉහළ ගොස් තිබේ.
අද (25) සඳුදා උදෑසන ආසියාවේ ගෝලීය තෙල් මිණුම් ලකුණක් වන බ්‍රෙන්ට් මිල 5.5% කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වූ අතර, එක්සත් ජනපදයේ වෙළෙඳාම් කරන ලද බොරතෙල් මිල 5.8% කින් පහළ ගොස් ඩොලර් 90.99ක් විය.
එහෙත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස් ඩොලර් 102.21ක් වී ඇත.
පසුගිය සෙනසුරාදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ටෙහෙරානය සමඟ ගිවිසුමක් බොහෝ දුරට සාකච්ඡා කැර ඇති බවයි. ඒ පිළිබඳ විස්තර ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව එදින පැවසුවත් පසුදාම ඔහු තම සාකච්ඡා කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ ගිවිසුමකට ඉක්මන් නොවන ලෙසයි .
ලෝකයේ තෙල් හා ද්‍රව ස්වාභාවික වායු (LNG) වලින් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් ගමන් කරන පටු ජල මාර්ගය වූ හෝමූස් සමුද්‍ර සන්ධිය පෙබරවාරි 28 වැනි දින ගැටුම ආරම්භ වූ දා සිට වසා දමා ඇත.
මේ හේතුවෙන් අද වන විට බොරතෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇතත්, යුද්ධයට පෙර තිබූ මිලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.
ගැටුමට පෙරාතුව බ්‍රෙන්ට් බැරලයක මිල ඩොලර් 70 ක් පමණ විය.
