
ඊශ්‍රායලය සහ අමෙරිකාව ගසා වැසියන්ට එරෙහිව ගෙන ගිය ම්ලේච්ඡ යුද්ධය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අද උග්‍ර සාගින්නකට සහ මානුෂීය අර්බුදයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් අනතුරු අඟවා තිබේ.
සහන සේවා ක්‍රියාත්මක වුවද මිලියන සංඛ්‍යාත ජනතාවකට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, ආහාර ලබා ගැනීමට පෝලීන් ගැසී සිටින ජනතාවට එක්සත් ජාතීන්ගේ මානුෂික නීති රීති පවා උල්ලංඝණය කරමින් ඊශ්‍රායලය සහ අමෙරිකාව සිදු කරන ප්රහාරයන් නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ගාසා වැසියන්ගෙන් සැළකිය යුතු පිරිසක් දිනකට එක් වේලකින් පමණක් යැපෙන බවත්, කුසගින්නෙන් ළමුන් කෑ ගසන බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩූජරික් සඳහන් කරයි.
ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකකට අධික ජනතාව මේ වන විට භූමියෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී සිටින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් වගාබිම් සහ අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට ජනතාවට දැඩි බාධා එල්ල වී තිබේ.
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කැර මාස හයකට වැඩි කාලයක් ගත වුවද මන්දපෝෂණ මට්ටම ඉහළ යමින් පවතින බව ලෝක ආහාර වැඩපිළිවෙළ අවධාරණය කරයි.
දෛනිකව ආහාර වේල් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලබාදුන්න ද පවතින අධික මිල ගණන් හේතුවෙන් නැවුම් ආහාර ලබා ගැනීම ජනතාවට සිහිනයක් වී පවති.
පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ අමෙරිකාව සමඟ දිනපතා සාකච්ඡා කළද මෙතෙක් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටි.

