
ලෝකයේ හොඳම තේ ඇති රට කුමක්දැයි විමසු විට බහුතරයක් පවසන්නේ ශ්රී ලංකාවේ තේ ගුණාත්මක බවින් ඉහළ බවයි. නමුත් ශ්රී ලංකාවට තේ පැළය පැමිණියේ කුමන රටකින්ද යන්න අද බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඉතිහාසය අධ්යයනය කිරීමේ දී පැහැදීලි වන ප්රධාන කරුණක් වන්නේ , ශ්රී ලංකාවට මුල්ම තේ පැළය පැමිණ ඇත්තේ චීනයෙන් බවයි.
ශ්රී ලංකාවේ තේ වගා ඉතිහාසය ප්රධාන වශයෙන් 1824 සහ 1867 යන වසර දෙක සමඟ සම්බන්ධ වෙයි. 1824 දී චීනයේ හැංෂෞ (Hangzhou) පළාතෙන් මෙරටට ගෙනා තේ පැළයක්, පේරාදෙණිය උද්භිද උද්යානයේ රෝපණය කිරීමෙන් පසු තේ වගාව පිළිබඳ මුල් අත්හදා බැලීම් ආරම්භ වී තිබේ. 1867 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් මහනුවර ලුල්කඳුර වතුයායේ වාණිජ පරමාර්ථය මුල්කැර ගනිමින් තේ වගාව ආරම්භ කිරීමත් සමඟ මෙරට තේ කර්මාන්තයේ ආරම්භය සිදු වු බව ඉතිහාසයේ මැනවින් සඳහාන් වේ.
අද වන විට ශ්රී ලංකාවේ සංස්කෘතිය සමඟ තේ කර්මාන්තය බැදී පවතී. එහෙත් ඊට සාපේක්ෂව බලන විට චීනයේ තේ සංස්කෘතිය වසර 5000 ක් පමණ වූ ඉතිහාසයකට උරුමකම් කියයි.
චීනයේ නැඟෙනහිර දෙසින් පිහිටි ෂෙජියෑං (Zhejiang) පළාතේ අගනුවර වන හැංෂෞ (Hangzhou) නගරය ලෝක ප්රසිද්ධ වන්නේ එහි සුන්දර බටහිර විල, පුරාණ සංස්කෘතික උරුමයන් සහ නවීන නාගරික සංවර්ධනය නිසා පමණක් ම නොවේ. එය චීනයේ තේ සංස්කෘතියේ වැදගත්ම මධ්යස්ථානයක් වීම නිසාය.
පසුගිය දා මේ සුන්දර භූමිය පුරා ඇවිද ගිය මට චීනයේ තේ සංස්කෘතියේ බොහෝ තැන් ස්පර්ෂ කිරීමට හැකි විය.විශේෂයෙන්ම හැංෂෞ නගරය ආශ්රිතව නිෂ්පාදනය කරන බටහිර විල ලොංජිං තේ (West Lake Longjing Tea) චීනයේ වඩාත් කීර්තිමත් හරිත තේ වර්ග අතර ප්රමුඛ ස්ථානයක් හිමිකර ගෙන ඇත. තේ වගාව, තේ දළු නෙළීම, තේ සැකසීම, තේ පානය කිරීම සහ ඒ හා බැඳුණු චාරිත්ර වාරිත්ර හැංෂෞ ජන ජීවිතය හා ගැඹුරින් බැඳී පවතින බව කිවයුතුය.
ලොංජිං තේ සහ හැංෂෞහි ඓතිහාසික උරුමය
හැංෂෞ නගරයේ තේ සංස්කෘතියට දිගු ඉතිහාසයක් තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන තේ වගා කිරීමේ සහ තේ නිෂ්පාදනය කිරීමේ ශිල්පීය ක්රම අදටත් එහි සංස්කෘතික අනන්යතාවයේ වැදගත් අංගයක් වී තිබේ.මෙම නගරයේ තේ සංස්කෘතියේ හදවත ලෙස සැලකෙන්නේ බටහිර විල ආශ්රිත කඳුකර ප්රදේශවල පිහිටි තේ වතුය. විශේෂයෙන්ම ලොංජිං ගම්මානය සහ ඒ අවට ප්රදේශ ලොංජිං තේ නිෂ්පාදනය සඳහා ප්රසිද්ධියක් උසුලයි.
ලොංජිං යන නාමය ඉංග්රීසියෙන් ‘Dragon Well’ හෙවත් ‘මකරාගේ ළිඳ’ ලෙස අර්ථ දැක්වේ. එහි නම මෙන්ම එම තේ වර්ගය වටා ගොඩනැඟී ඇති ජනප්රවාද ද චීන තේ සංස්කෘතියට විශේෂත්වයක් එක් කරයි.
චීනයේ ක්විං රාජවංශ සමයේදී ලොංජිං තේ රාජකීය පිළිගැනීමක් හිමිකරගත් බවට ඓතිහාසික තොරතුරුවලින් තහවුරු වෙයි. එමඟින් එය සාමාන්ය පානයක් පමණක් නොව, උසස් සංස්කෘතික වටිනාකමක් සහිත නිෂ්පාදනයක් බවට ද පත් වී ඇත.

ලොංජිං තේවල විශේෂත්වය කුමක්ද?
ලොංජිං තේ චීනයේ ප්රසිද්ධ හරිත තේ වර්ගයකි. එහි දළු පැතලි හැඩයකින් යුක්ත වන අතර, නැවුම් සුවඳ, මෘදු රසය සහ පානය කිරීමෙන් පසු දැනෙන සුළු මිහිරි රසය එහි විශේෂ ලක්ෂණ ලෙස සැලකේ.
මෙම තේවල ගුණාත්මකභාවය තීරණය කිරීමේදී තේ වගා කරන භූමිය, දේශගුණික තත්ත්වයන්, දළු නෙළන කාලය සහ ඒවා සැකසීමේ ශිල්පීය ක්රම වැදගත් වේ.තේ දළු නෙළාගත් පසු ඒවායේ නැවුම්භාවය හා රසය ආරක්ෂා කැර ගැනීම සඳහා ඉක්මනින් සැකසීම සිදු කෙරේ. දළු තාපය භාවිතයෙන් සැකසීම සහ අතින් නිසි ලෙස හැසිරවීම සඳහා විශේෂ පුහුණුවක් හා පළපුරුද්දක් අවශ්ය වෙයි.
එමෙන්ම වසන්ත කාලයේ මුල් භාගයේ නෙළන සියුම් තේ දළු විශේෂ වටිනාකමක් හිමිකර ගනී. විශේෂයෙන්ම චීනයේ චිංමිං (Qingming) උත්සවයට පෙර නෙළන ලොංජිං තේ සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතින බව මට දැන ගැනීමට ලැබිණි.

තේ වත්තේ සිට තේ කෝප්පය දක්වා
හැංෂෞහි තේ සංස්කෘතියේ සුන්දරත්වය එහි නිෂ්පාදන ක්රියාවලිය තුළින් ද දැකගත හැකි වීම විශේෂත්වයකි.වසන්ත සමය උදාවීමත් සමඟ තේ වතු නව දළු වලින් පිරී යයි. තේ දළු නෙළන්නෝ කඳු බෑවුම්වල පිහිටි වතුවලට ගොස් තෝරාගත් සියුම් දළු එකතු කරති.මෙහිදී දළු නෙළීමේ කාලය හා ඒවා තෝරා ගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. අනතුරුව දළු වියළීම, තේ සැකසීම සහ අවශ්ය පරිදි උණුසුම භාවිතයෙන් බැදීම වැනි ක්රියාවලීන් සිදු කරනු ලැබේ.
විශේෂයෙන්ම ලොංජිං තේ නිෂ්පාදනයේදී තාපය නිසි ලෙස පාලනය කිරීම ඉතා වැදගත් වෙයි. දළු අධික ලෙස රත් නොකර, ඒවායේ හැඩය සහ සුවඳ ආරක්ෂා වන පරිදි සැකසීම සඳහා පළපුරුද්ද ඉතා අවශ්ය සාධකයකි.
මෙම ක්රියාවලියෙන් පැහැදිලි වන්නේ තේ නිෂ්පාදනය යනු කෘෂිකාර්මික කාර්යයක් පමණක් ම නොව, පරම්පරා ගණනාවක් තිස්සේ වර්ධනය වූ දැනුම හා ශිල්පීය හැකියාවන් එක්වූ සංස්කෘතික උරුමයක් බවයි.
තේ සහ චීන ජන ජීවිතය
චීන ජනතාවගේ දෛනික ජීවිතයේ තේවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.නිවෙස්වලදී, කාර්යාලවලදී, ආපනශාලාවලදී සහ තේ පානය සඳහාම වෙන්වූ ස්ථානවලදී තේ පානය කිරීම සාමාන්ය සමාජ චාරිත්රයකි. එය පිපාසය සංසිඳුවා ගැනීමේ ක්රමයක් පමණක් ම නොව, අමුත්තන් පිළිගැනීමේ, මිතුරන් හමුවීමේ සහ සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාවලදී ද භාවිතා කරයි.
හැංෂෞ නගරයේ තේ සංස්කෘතිය ස්වභාවධර්මය සමඟ ඇති සම්බන්ධය , සන්සුන් බව සහ සරල ජීවන රටාව මගේ ජීවිතයට මහත්සේ දැණිනි.කඳුකර තේ වත්තක හෝ සාම්ප්රදායික තේ හලක වාඩි වී තේ කෝප්පයක් රස විඳීම තුළින් එදිනෙදා කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදීමට අවස්ථාවක් ලැබීම කොයිතරම් වැදගත්ද යන්න මේ සුන්දර භූමිය පුරා ඇවිද ගිය මට නැවත නැවත සිහියට නැඟිනි.
බටහිර විල සහ තේ සංස්කෘතිය
හැංෂෞහි තේ සංස්කෘතිය ගැන කතා කිරීමේදී බටහිර විල (West Lake) අමතක කළ නොහැකිය. කඳු, විල්, උද්යාන, පුරාණ ගොඩනැගිලි සහ විහාරස්ථාන එකට එක්ව නිර්මාණය කරන බටහිර විල අවට පරිසරය සියවස් ගණනාවක් පුරා චීන කවීන්ගේ, චිත්ර ශිල්පීන්ගේ සහ විද්වතුන්ගේ අවධානයට ලක්වී තිබේ.
මෙම පරිසරය තේ වගාවට පමණක් නොව, තේ පානය කිරීමේ අත්දැකීමට ද විශේෂ අර්ථයක් එක් කරයි. හරිත කඳු අතර පිහිටි තේ වතු සහ විල අවට තේහලවල් සංචාරකයන්ට හැංෂෞහි සංස්කෘතික උරුමය සමීපව අත්විඳීමට අවස්ථාව සලසයි.
බටහිර විල සංස්කෘතික භූදර්ශනය 2011 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වීමත් සමඟ එය ස්වභාවධර්මය සහ මානව නිර්මාණශීලීත්වය අතර ඇති සම්බන්ධතාව මැනවින් ප්රදර්ශනය විය.

තේ සංස්කෘතිය ලොවට හඳුන්වා දීම
හැංෂෞ නගරය සිය තේ උරුමය ආරක්ෂා කරමින් එය නව පරපුරට සහ ජාත්යන්තර ප්රජාවට හඳුන්වා දීමට ද අද කටයුතු කරයි.ඒ සඳහා තේ උත්සව, ප්රදර්ශන, තේ රස බැලීමේ වැඩසටහන් සහ සාම්ප්රදායික තේ සැකසීමේ ක්රම හඳුන්වා දෙන අත්දැකීම් සංවිධානය කෙරේ.2012 වසරේ සිට හැංෂෞහි අප්රේල් 20 වැනිදා තේ පානයට සම්බන්ධ විශේෂ දිනයක් ලෙස සැමරීම ආරම්භ කැර තිබේ. එම දිනයේදී තේ සංස්කෘතිය පිළිබඳ වැඩසටහන්, තේ රස බැලීම් සහ සාම්ප්රදායික තේ කලාවන් ඉදිරිපත් කෙරේ.
තවද, හැංෂෞහි පිහිටි චීන ජාතික තේ කෞතුකාගාරය මඟින් තේවල ඉතිහාසය, විවිධ තේ වර්ග, තේ සකස් කිරීමේ ක්රම සහ තේ පානය කිරීමේ සම්ප්රදායන් පිළිබඳ දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසේ. තේ නිෂ්පාදනය හා සම්බන්ධ සාම්ප්රදායික ක්රම සහ සමාජ චාරිත්ර 2022 වසරේදී යුනෙස්කෝ අස්පර්ශ්ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් වීම මඟින් මෙම උරුමයේ ජාත්යන්තර වැදගත්කම තහවුරු කිරීමට ප්රධාන වශයෙන් හේතු විය.
ග්රාමීය ආර්ථිකය හා සංචාරක කර්මාන්තය
හැංෂෞහි තේ සංස්කෘතිය, සංස්කෘතික වටිනාකමකට සීමා නොවේ. එය ග්රාමීය ජනතාවගේ ජීවනෝපාය, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ සංචාරක කර්මාන්තය සමඟ එකට බැඳී පවති.
විශේෂයෙන්ම මෙයිජියා වූ (Meijiawu) තේ සංස්කෘතික ගම්මානය ලොංජිං තේ නිෂ්පාදනය සඳහා ප්රසිද්ධ ප්රදේශයකි. එහි තේ වතු නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට තේ වගාව පිළිබඳ දැනගැනීමට, නැවුම් තේ රස බැලීමට සහ ඇතැම් අවස්ථාවල තේ දළු නෙළීමේ හා සැකසීමේ ක්රියාවලිය අත්විඳීමට අවස්ථාව ලැබේ.තේ වතු ආශ්රිත තේහලවල් සහ සංචාරක සේවා මඟින් ප්රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග ද නිර්මාණය වී තිබිම මට දැක ගැනීමට හැකි විය. එසේ සාම්ප්රදායික තේ සංස්කෘතිය නවීන ආර්ථිකය සමඟ සම්බන්ධ කරමින් ග්රාමීය සංවර්ධනයට දායක වන ආකාරය හැංෂෞ නගරයේදී තවදුරටත් අවබෝධ විය.
තේ කෝප්පයකින් කියැවෙන පණිවුඩය
හැංෂෞ නගරයේ තේ සංස්කෘතියෙන් ලෝකයට ලබාගත හැකි වැදගත් පාඩමක් තිබේන බව කිවයුතුය . එනම්, රටක සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සහ නවීන සංවර්ධනය ඉදිරියට ගෙන යෑම එකිනෙකට පටහැනි කාර්යයන් නොවන බවයි.
පරම්පරා ගණනාවක් පුරා පැවත එන තේ වගා කිරීමේ දැනුම ආරක්ෂා කරමින්, එය සංචාරක කර්මාන්තයට, අධ්යාපනයට සහ ජාත්යන්තර සංස්කෘතික හුවමාරුවට සම්බන්ධ කිරීමට හැංෂෞ නගරය උත්සාහ කරමින් සිටි.මෙහිදී තේ කෝප්පයක් යනු හුදෙක් පානයක්ම නොවේ. එය ඉතිහාසය, කෘෂිකර්මාන්තය, පරිසරය, ජන ජීවිතය සහ සංස්කෘතික අනන්යතාව එකට සම්බන්ධ කරන සංකේතයකි.
වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන හැංෂෞ නගරයේ තේ සංස්කෘතිය චීනයේ අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන සජීවී උරුමයක් ලෙස පෙන්වා දීම වැදගත්ය.
ලොංජිං තේවල සුවඳ, කඳුකර තේ වතුවල සුන්දරත්වය, බටහිර විලේ නිස්කලංක පරිසරය සහ තේ පානය වටා ගොඩනැඟුණු සමාජ සම්ප්රදායන් එක්ව හැංෂෞ නගරයට සුවිශේෂී අනන්යතාවක් ලැබීම අගය කළ යුතුය.
ලොව වෙනස් වන වේගය කොතරම් ඉහළ ගියත්, තම සංස්කෘතික මූලයන් ආරක්ෂා කැරගනිමින් ඒවා නව ලෝකයට හඳුන්වා දිය හැකි බව හැංෂෞහි තේ සංස්කෘතිය අපට පෙන්වා දුන් ප්රධාන කරුණයි.
තෙවැනි කොටස

සටහන —
චන්දන විජේකෝන්
