Impartial news reporting for a stronger democratic society
ආණ්ඩුව ගෙනා අලුත් පනත්වලින් ජනතා අයිතිවාසිකම් බරපතළ තර්ජනයකට ලක් වෙනවා – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් මෙම පනත් කෙටුම්පත්වලින් ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම්වලට බරපතළ තර්ජනයක් එල්ල  වී ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CPSL) නිවේදනයක්  නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රධාන ලේකම්  වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිතුත් කැර ඇති නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වේ.

 මෙම පනත් කෙටුම්පත්  මඟින්  ආණ්ඩුවට හිමිවන නව බලතළ අනුව  ජනතාව මත ඒකාධිපති පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට යොදා  ගැනීම බියජනක  ක්‍රියාවලියකි.

රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල පැවති දීර්ඝ වු  සිවිල් ගැටුම් සමයේදී මෙන්ම, 1987-90 කාලයේ දකුණේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේදී ද, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ඝාතනයට ලක් වු බව රහසක් නොවේ. එබැවින්, ත්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සහ මහජන ආරක්ෂාවට එල්ල වන තර්ජන මැඩපැවැත්වීමේ අවශ්‍යතාව අප පක්ෂය මනාව වටහාගෙන තිබේ. කෙසේ වෙතත්, 1983 වසරේදී   දියත් වු ජාතිවාදී ප්‍රහාර මාලාව පිටුපස සිටියේ කොමියුනිස්ට් පක්ෂය යැයි අසත්‍ය චෝදනා එල්ල කරමින්, එදා  පැවැති  යු ඇන් පී ආණ්ඩුව අප පක්ෂය තහනම් කිරීමටත්, නායකයන් සිරගත කිරීමටත් කටයුතු කෙළේය. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය සීමා කිරීමට, සමාජ ව්‍යාපාර මර්දනය කිරීමට හෝ පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් දුර්වල කිරීමට, නීතිය උපකරණයක් ලෙස භාවිතා කිරීමට,  ආණ්ඩුවට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව  අප  පක්ෂය අත්දැකීමෙන්ම දනී.

මෙම පනත් කෙටුම්පත්වල අඩංගු පුළුල් බලතළ සහ විධිවිධාන, දැනට පවතින නීති හෝ රෙගුලාසිවල ඇතැම් විධිවිධාන දුර්වල කිරීමට හෝ අහෝසි කිරීමට හේතු විය හැකි අතර, එමගින් නීතිය අනිසි ලෙස භාවිතා කිරීමේ සහ අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමේ බරපතළ අවදානමක් මතු කරයි. විශේෂයෙන්ම, සුළු වැරදි පවා (සාමාන්‍ය නීතිය යටතේ හැසිරවිය යුතු) අපරාධ ලෙස නම් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට (මාධ්‍ය වාර්තාකරණය සහ ඇතැම් විට ශරීරයේ පච්ච කොටා ගැනීම වැනි දේ ද ඇතුළුව) තර්ජන එල්ල වීම, විධායක බලය අධික ලෙස පුළුල් වීම (උදාහරණයක් ලෙස, යම් ප්‍රදේශයක් අත්තනෝමතික ලෙස ‘තහනම් කලාපයක්’ ලෙස නම් කිරීම) සහ රඳවා තබා ගැනීම, ඇප ලබා දීම සහ පාපොච්චාරණ ලබා ගැනීම සම්බන්ධ කොන්දේසි වෙනස් කිරීම වැනි පුළුල් විධිවිධාන දැඩි කනස්සල්ලට කරුණකි.

ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා දැනට පවතින නීති සහ ආයතන ප්‍රමාණවත් නොවන බව තවමත් ඔප්පු වී නොමැත. එසේ ඔප්පු වී නොමැති තත්ත්වයක් තුළ, රඳවා තබා ගැනීම්, ඇප කොන්දේසි, පාපොච්චාරණ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් රාජ්‍ය බලතල පුළුල් කිරීමට යෝජනා කැර තිබීම අනවශ්‍ය, අසමානුපාතික මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට හානිකර විය හැකි පියවරක් ලෙස පෙනේ.

වෘත්තීය සමිති අරගල, ශිෂ්‍ය ව්‍යාපාර, ගොවි සංවිධාන සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් දියත් කෙරෙන මහජන ව්‍යාපාර හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කැර ගැනීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකා ජනතාවට ඇත. ප්‍රමාණවත් අධිකරණ ආරක්ෂණ විධිවිධාන සහ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණයකින් තොරව, පුළුල් නිරීක්ෂණ බලතළ, රඳවා තබා ගැනීමේ බලතළ, සීමා පැනවීමේ බලතළ සහ අපරාධකරණය කිරීමේ බලතළ ලබා දෙන නීති සම්පාදනය, දේශපාලන සංවිධානවලට පමණක් නොව, කම්කරුවන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින සාමාන්‍ය පුරවැසියන්ට ද තර්ජනයක් එල්ල කරයි.

රජයේ ප්‍රතිපත්ති පිළිබඳ සාධාරණ විවේචන, සමාජ විරෝධතා, වෘත්තීය ක්‍රියාමාර්ග සහ දේශපාලන බලමුළු ගැන්වීම් යටපත් කිරීමට හෝ ඒවාට බිය ගැන්වීම් සිදු කිරීමට, අපැහැදිලි අර්ථ දැක්වීම් සහ අධික විධායක බලතළ යොදා ගත හැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය දැඩි කනස්සල්ල පළ කරයි. රාජ්‍යය ආරක්ෂා කිරීමේ හෝ මහජන සාමය පවත්වාගෙන යෑමේ නාමයෙන්, අසාමාන්‍ය බලතළ ඉල්ලා සිටින අවස්ථාවන්හිදී, අතිශය විමසිලිමත් විය යුතු බවට ශ්‍රී ලංකාවේ පෙර පැවති ආරක්ෂක නීති සම්බන්ධ අත්දැකීම් සාක්ෂි දරයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සැබෑ ශක්තිය පවතින්නේ බලහත්කාරී බලතල පුළුල් කිරීම තුළ නොව, එහි ජනතාවගේ විශ්වාසය සහ සහභාගීත්වය තුළ ය. සමාජ සාධාරණත්වය, ආර්ථික අවස්ථා, මානව හිමිකම්වලට ගරු කිරීම සහ නීත්‍යානුකූල ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම තුළින් පමණක් තිරසාර ආරක්ෂාවක් ළඟා කැර ගත හැකිය. මහජන විශ්වාසය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම හීන කරන පියවර මඟින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා වෙනුවට, අවසානයේදී එය දුර්වල කරනු ලබයි.

ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, ජාතික ස්වෛරීභාවය සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට කැපවී සිටින සියලු පාර්ශ්වයන් සමඟ කොමියුනිස්ට් පක්ෂය එක්ව ක්‍රියාකිරීමට කැපවී සිටී. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කැර ගැනීම වෙනුවෙන් එක්වන ලෙස, සියලු ප්‍රගතිශීලී දේශපාලන බලවේග, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, වෘත්තීය සමිති, තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරන පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ජාතික ආරක්ෂාව සුරැකීම, කිසිවිටෙකත් සිවිල් නිදහස හීන කිරීමට හෝ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් මර්දනය කිරීමට නිදහසට කරුණක් බවට පත් නොවිය යුතුය.

වෛද්‍ය ජී. වීරසිංහ

ප්‍රධාන ලේකම්

 2026.10.25

Follow by Email
LinkedIn
Share
WhatsApp