
සාම ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයෙන්ම කොන්දේසි පැනවීම හේතුවෙන් සති අන්තයේ සාකච්ඡා බිඳ වැටීමත් සමඟ අමෙරිකානු සහ ඉරාන හමුදාව අතර යුද ගැටුම් යළි ඇරැඹී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් කිෂ්ම් දූපත ඉලක්ක කරමින් අමෙරිකානු හමුදාවෙන් පසුගිය දා ප්‍රහාර එල්ල වී ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ගල්ෆ් මුහුදේ රඳවා ඇති අමෙරිකානු නෞකාවලට සහ මැදපෙරදිග රටවලට මිසයිල ප්‍රහාර එල්ල කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග කලාපයට සහ අමෙරිකානු නෞකාවලට ඉරානයෙන් එල්ල වූ බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන රැසක් විනාශ කළ බවත්, ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කැර තිබේ. කිෂ්ම් දූපතේ පිහිටි ඉරාන හමුදා පාලන මධ්‍යස්ථානය සිය ප්‍රහාරවල ඉලක්කය වූ බව අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ. මේ අතර ඉරානය ප්‍රකාශ කැර ඇත්තේ මැදපෙරදිග රටවල පිහිටි අමෙරිකානු කඳවුරුවලට සහ හෙලිකොප්ටර්වලට පහර දුන් බවයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන අමෙරිකානු හමුදාවට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඉරාන ආරක්ෂක හමුදාව සඳහන් කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
