
අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන ප්‍රහාර හමුවේ 3,500කට අධික නීතිඥයන්ගේ ඓතිහාසික එක්වීමක්
ව්‍යවස්ථා සංශෝධනය හකුළාගන්නැයි කෙරෙන ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට අධිකරණ ඇමැතිගෙන් පොරොන්දුවක්
ඓතිහාසික විශේෂ මහා සභා රැස්වීම සහ ඒකමතික තීන්දුව
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යවන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තදින්ම පෙනී සිටීමට තීරණය කැර තිබේ.
කොළඹ පිහිටි නීතිඥ සංගම් මූලස්ථානයේදී අද (29) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී (Special General Meeting) නීතිඥවරුන් 3,500කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අදාළ යෝජනාවලිය ඒකමතිකව සම්මත කැර ගෙන ඇත.
මේ සතියේ පැවැති කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි. එහෙත්, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට සෘජුවම බලපාන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සේවා කාල සීමාවන් වෙනස් කිරීම, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව නීතිඥ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් අමරසූරිය පෙන්වා දෙයි.
ඒකමතිකව සම්මත වූ ප්‍රධාන කරුණු 07
විශේෂ මහා සභා රැස්වීමේදී නීතිඥ ප්‍රජාව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව සම්මත කැර ගත් යෝජනාවලියට ප්‍රධාන කරුණු 7ක් ඇතුළත් වේ.
1- දැනට පවතින ආකාරයෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකහෙළාම විරුද්ධ වේ.
2- පැහැදිලි ආයතනික අවශ්‍යතාවයක්, පදනම් සහිත සාක්ෂි හෝ තර්ක, අදාළ සියලු පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගීත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලපෑම පිළිබඳ විධිමත් ඇගයීමකින් තොරව මෙම සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතුය.
3- සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලය වෙනස් කිරීමට උත්සාහ කරනවා වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පත්වීම් ක්‍රියාවලිය හරහා අධිකරණයේ පවතින පුරප්පාඩු වහාම පිරවීමට රජය මුල්තැන දිය යුතුය.
4- නඩු ප්‍රමාදයන් අවම කිරීම, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම, තාක්ෂණික හා භෞතික යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු ‘අධිකරණ ක්ෂේත්රයේ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ‘ ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතුය.
5- විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ යම් අවශ්‍යතාවක් අනාගතයේදී මතුවේ නම්, එය පුළුල් ජනසමාජ කතිකාවතකින් සහ ස්වාධීන විශේෂඥ ඇගයීමකින් පසුව කෙරෙන පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් විය යුතුය.
6- අධිකරණයේ ස්වාධීනත්වය, බලතල බෙදීමේ න්‍යාය, නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාපිත පාලනය සහ සමස්ත අධිකරණ පද්ධතියේ පවිත්‍රතාව වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ සංගමය නැවතත් ප්‍රතිඥා දෙයි.
7- ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහාත්, එම මූලධර්මවලට හානි කරන ඕනෑම ව්‍යවස්ථාමය පියවරකට එරෙහිව සියලු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් නීතිඥ සංගමයේ නිලධාරී මණ්ඩලයට පූර්ණ බලය පවරනු ලැබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය පත්වන අපහසුතාව සහ අධිකරණ ඇමැති සමඟ සාකච්ඡාව
මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නෛතික අභියෝගයක් ඉදිරිපත් වූ විට, තමන්ගේම විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ නඩුවක් විභාග කිරීමට සිදුවීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පරස්පර විරෝධී උද්යෝගයකට (Conflict of Interest) සහ අපහසුතාවකට ලක්වන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්ම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ප්රඥප්තීන්ටද මෙම සංශෝධනය පටහැනි බව මෙහිදී අවධාරණය කෙරිණි.
මහා සභා රැස්වීමෙන් අනතුරුව නීතිඥ සංගමයේ නියෝජිත පිරිස අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. නීතිඥ සංගමයේ දැඩි ස්ථාවරය සහ යෝජනාවලිය පිළිබඳව ඇමැතිවරයා දැනුවත් කළ අතර, එම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කැර අදාළ ඉදිරි තීරණය නීතිඥ සංගමයට දැනුම්දීමට අධිකරණ ඇමැතිවරයා එකඟ වී තිබේ.

Source -The Leadar
