
මුහුණ බැඳගත් පිරිස් වාට්ටු කඩා කඩුවලින් හා පොලුවලින් පහරදුන් හැටි සහ පෙති වර්ග පානය කළ රැඳවියන්ගේ හැසිරීම ගැන අධිකරණයට සාක්ෂි
නියෝග අබියස පෙනී නොසිටි බන්ධනාගාර අධිකාරීවරයාට නිකුත් කළ නොතිසිය අධිකරණ දැනුම්දීම හමුවේ අවලංගු කෙරෙයි
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට සිදුවූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ප්‍රකාශ කැර තිබේ.
අධිකරණ කටයුතු ආරම්භ කර බන්ධනාගාරගත රැඳවියන් නඩු සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සඳහන් කෙළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට කැමති රැඳවියන්ට ඊට අවසර හිමිවන බවයි. ඒ අනුව යම්කිසි රැඳවියෙකු ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඉදිරිපත් වන ලෙස නියෝග කළද, බන්ධනාගාරගතව සිටින රැඳවියන් කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් වී නොමැත.

නිදහස් වූ රැඳවියන්ගෙන් ලබාගත් සාක්ෂි
කෙසේ වෙතත්, මහාධිකරණය මඟින් ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටව යන රැඳවියන්ගෙන් මීගමුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි කැඳවීම සිදුකර ඇති අතර, මේ වන විට රැඳවියන් 28 දෙනෙකු සාක්ෂි ලබා දී ඇත.
ඉකුත් මැයි 02 වැනිදා තායිලන්තයේ සිට ගුවනින් මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කැර සිට මීගමුව මහාධිකරණයෙන් ඇප ලැබූ භික්ෂූන් වහන්සේලා සිව්නම අතරින් නිකපොත සුමනරක්ඛිත හිමියන් ද බන්ධනාගාරයෙන් නිදහස් වීමට මත්තෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.
“ලේන්සුවෙන් මූණ බැඳන් ආපු 15ක් වාට්ටු කඩලා පහර දුන්නා”
තමන් වහන්සේ සෙල් වාට්ටුවේ රඳවා සිටි බවත්, ඉකුත් මැයි 05 වැනිදා ආහාර ලබාදෙන අවස්ථාවේදී පිටතින් විශාල ශබ්දයක් ඇසුණු බවත් සුමනරක්ඛිත හිමියෝ සාක්ෂි දෙමින් පැවසූහ. ලේන්සුවලින් මුහුණ බැඳගත් 15 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් පොලු අතැතිව වාට්ටුවේ දොරවල් කඩාගෙන ඇතුළු වී පහරදීමට තැත් කළ බව උන්වහන්සේ සඳහන් කළහ.
පසුදින උදෑසන වෙනත් වාට්ටුවල රැඳවියන් තමන් සිටි වාට්ටුවට පැමිණ සිටි බවත්, නිලධාරීන් නොසිටි අතර රැඳවියන් විසින්ම ආහාර බෙදා දුන් බවත් උන්වහන්සේ කීහ. පසුව පැය එකහමාරකින් පමණ නැවතත් වෙඩි හඬවල් සහ කෝලහාල ශබ්ද ඇසුණු බවත්, කකුල්වලට වෙඩි වැදුණු දෙදෙනෙකු තමන් සිටි වාට්ටුවට ගෙනවිත් දැමූ බවත් සුමනරක්ඛිත හිමියෝ වැඩිදුරටත් සාක්ෂි දෙමින් අනාවරණය කළහ.

මත්පෙති පානය කළ රැඳවියන් සහ මීගමුව බන්ධනාගාරයේ විනාශය
සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරගතව සිට ඇප ලැබූ නුවන් චතුරංග නමැති රැඳවියා සාක්ෂි දෙමින් කියා සිටියේ, 20-30ක පමණ පිරිසක් පැමිණ වාට්ටුවේ සිටි පුද්ගලයන්ට පහර දුන් බවයි. එමෙන්ම බන්ධනාගාර රෝහල කඩා එහි තිබූ පෙති වර්ග ලබාගත් පිරිස් ඒවා පානය කැර අසාමාන්‍ය ලෙස හැසිරුණු බවත්, ඇස් ඇඹරී දිව එළියට දමමින් ඔවුන් සිටි බවත් හෙතෙම සාක්ෂි දුන්නේය.
පසුදින විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් පැමිණ තමන් ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව පැවසූ සාක්ෂිකරු, මීගමුව බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර, ස්ථාන රැසක ලේ පැල්ලම්, කැඩුණු වීදුරු සහ හානි වූ ගොඩනැගිලි කොටස් දක්නට ලැබුණු බව ප්‍රකාශ කෙළේය.
බන්ධනාගාර අධිකාරීවරයාට නොතිසි නිකුත් කිරීම සහ අවලංගු වීම
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය කැර තිබූ නියෝගයට අනුව අද පස්වරු 2.00ට නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර අධිකාරීවරයා පෙනී සිටියේ නැත.
දින කිහිපයක්ම කැඳවීම් කර තිබියදීත් අධිකාරීවරයා නොපැමිණීම පිළිබඳව දැඩි ලෙස කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරිය, බන්ධනාගාර අධිකාරීවරයාට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළාය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් අධිකාරීවරයා අධිකරණයට පැමිණෙන බව තහවුරු කිරීම නිසා අදාළ නොතිසිය අවලංගු කළ මහේස්ත්‍රාත්වරිය, නඩුව නැවත පස්වරු 2.30ට කැඳවීමට නියම කළාය.
Source- The Leadder
