
පාකිස්තානයේ කොහාට් නුවර ඉස්ලාම් දේවස්ථානයකට සහ පොලිස් ස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත දෙකක් ඉලක්ක කරමින් පාකිස්තාන හමුදාවෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්තානයේ රැකවරණය ලබන ත්‍රස්ත සංවිධාන ඉලක්ක කරමින් සිදු කළ එම ප්‍රහාරවලින් අවම වශයෙන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් 28 දෙනකු ඝාතනයට ලක්වූ බව පාකිස්තාන රජය නිවේදනය කැර ඇත.

තලේබාන් රජය නිවේදනය කර ඇත්තේ පක්ටිකා සහ කුනාර් ප්‍රාන්තවලට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවයි. මියගිය අය අතර කාන්තාවක් සහ කුඩා දැරියක් සිටින බව ද තලේබාන් රජය සඳහන් කැර තිබේ. එම ප්‍රහාරය හෙළා දකිමින් කාබුල් නුවර පාකිස්තාන තානාපති කටයුතු භාර නිලධාරියාට විරෝධතා ප්‍රකාශයක් භාර දුන් බව ද තලේබාන් රජය නිවේදනය කැර තිබේ.
දෙරට අතර මාස 3කට ආසන්න කාලයක් පැවති සාමකාමී බව බිඳ දමමින් එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට තලේබාන් රජයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පාකිස්තානයේ සිදු කරන ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ රැකවරණය ලබන බවට දීර්ඝ කාලයක් පුරා පාකිස්තානයෙන් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා තලේබාන් රජය තරයේම ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
