Impartial news reporting for a stronger democratic society
ඝාතනයට වසර 59යි : යුගයෙන් යුගය සමරන චේ

‘ආදරය ගැන ඇතිවන උදාර හැඟීම සමුදාය තමයි නියම විප්ලවයකට මඟ පෙන්වන්නේ… එහෙම නැතුව ශ්‍රේෂ්ඨ විප්ලවයක් ගැන හිතන්නවත් බෑ..‘

‘විප්ලවය කියන්නේ ඉදුණාම බිමට වැටෙන ඇපල් ගෙඩියක් වගේ දෙයක්  නොවේ . ඒක බිමට වට්ටවාගන්න ඔබ දැනගත යුතුයි..‘

හැමදේකටම වඩා ලෝකයේ කොහේ හරි කාට හරි යම් අසාධාරණයක් වෙනවා නම් ඒක වටහා ගන්න උත්සාහ කරන්න. ඒක තමයි සැබෑ විප්ලවයක ලස්සනම ගුණාංගය…‘

එවැනි විප්ලවවාදී උදෘත පාඨ ගණනාවකින් ජනතාව දැනුම්වත් කරමින් කියුබාවේ විප්ලවයට ජීවය දුන් ඒ උදාර මිනිසා චේ ගුවේරා, නොඑසේ නම් අර්නස්ටෝ ගුවේරා ඩි ලා සෙර්නා ඝාතනයට ලක්වී අදට (9) වසර 59කි. ආජන්ටිනාවේ උපත ලබා කියුබාවේ අමෙරිකානු හිතවාදී ෆුල්ගෙන්සියෝ බැටිස්ටාගේ ඒකාධිපති පාලනය බිඳ දැමීමට ෆිදෙල් කැස්ත්‍රෝගේ ඓතිහාසික විප්ලවයට පෙරමුණ ගත් අසහාය විප්ලවවාදියා ඔහුය.

චේ ගුවේරාගේ ජීවිතය පිළිබඳ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව ඇති තරම් කියවන්නට ඇත. ඔහු තරම් ජනතාව අතර කතාබහට ලක්වූ වෙනත් විප්ලවවාදියකු ද තවත් නැත. 1967 ඔක්තෝබරයේ 8 වැනිදා බොලීවියාවේ යූරෝ පළාතේ කඳුකර වනාන්තරයකදී එරට හමුදාවේ අත්අඩංගුවට පත්වී පැය විසිහතරක් යෑමටත් පෙර ඝාතනයට ලක්වූ මේ උදාර මිනිසා විප්ලව කරන්නටම උපන්නෙකි. අතිශයින්ම සාර්ථක කියුබානු විප්ලවයෙන් පසු සිය විප්ලව සගයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ රජයේ වරප්‍රසාද භුක්ති විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැම අතින්ම ඔහුට වාසනාව තිබිණි. එහෙත් ලොවම කතා කරන කියුබානු විප්ලවයට උරදීමෙන් පසු විවේක ගැනීමට ඔහුගේ සිත ඉඩ නොතැබුවේය. ඉන් ඔබ්බට ගොස් ලතින් අමෙරිකාවේ අනිත් රටවලත් පීඩිත ජනතාවට නිදහස අත්කර දීමේ අරමුණින් බොලීවියාවට ගිය ඔහුගේ ජීවිත ඉරණම වෙනස් කළේ අද වැනි දිනයක ය. එය සිදු වූයේ වසර ගණනාවක් පුරා චේ පසුපස හඹා යමින් සිටි අමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයත්, බොලීවියානු හමුදාවත් එක්ව කළ මෙහෙයුමකිනි.

තුවාල ලබා සිටි චේ බොලිවියානු හමුදාව විසින් ගිලන් මැස්සක ආධාරයෙන් වනාන්තරයෙන් පිටතට රැගෙන එනු ලැබීමෙන් පසු ඔහුට ආහාර පාන සැපයීම භාරව සිටියේ එම පාසලේ නුපුහුණු ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි 19 හැවිරිදි ජූලියා කෝටිස්ය.

‘මා ඔහුට සුප් කෝප්පයක් පිරි නැමුවා. ඔහු මට ස්තුති කළා.‘ ඇය පසුකාලෙක එසේ කීවාය. චේ අවසන් වරට ජීවමානව දුටු අවසන් පුද්ගලයා ඇය වූවාය.

ඔහු අපේ රටේ (බොලීවියාවේ) උපන්නෙක් නොවෙයි. ඒත් බොලීවියාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ ජීවිතවලට ආලෝකයක් ගෙනදීමයි ඔහුගේ උදාර බලාපොරොත්තුව වුණේ. ඔහුට වෙඩි තැබුවේ මගේ මවුබිමේදියි. මා උපන් ලා හිගුවේරා පළාතේ මා ඉගැන්වූ පාසල් කාමරයේදියි. ඔහුගේ රුධිරය අපේ මේ පොළොවේ මිහිදන් වුණේ තවත් දශක ගණනාවකට ඔහුගේ මතකය බොලීවියානු ජනතාවගේ හදවත් තුළ තැන්පත් කරමිනුයි.‘ ජූලියා එසේ කීවේ ඊට දශක ගණනාවකට පසුවය.

‘ඔවුන් කීවේ ඔහු හරියට ජේසුතුමා වගේ කියලයි‘ වෙඩි තබා මරා දැමූ චේ ගේ සිරුර නහවා පිරිසුදු කළේ එවකට බොලීවියානු රෝහලක හෙදියක ලෙස සේවය කළ සුසානා ඔසිනාගා ය.

චේගේ ජීවිත කතාව ලොවම දැන සිටියත් ඔහුගේ අවසන් හෝරාව ගැන ඊට වසර 50කට පසු ලොවම දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගත් බොලීවියානු හමුදාවේ එවකට සිටි කපිතාන් ගැරී ප්‍රාඩෝ සොලමන්ගෙනි. චේ අත්අඩංගුවට ගත් හමුදා කණ්ඩායමට නායකත්වය ලබා දුන් මේ කපිතාන්වරයා මීට වසර කිහිපයකට පෙර එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කැර තිබිණි.

එදා රාත්‍රියේ අපි ඒ ගම්මානයේ කුඩා පාසලක චේ ඇතුළු සිරකරුවන් රඳවා තැබුවා. අපි ඔහුට අල සහ බත්, කෝපි සහ සිගරට් ලබා දුන්නා.. රාත්‍රිය පුරාම මා නිදිවර්ජිතවයි සිටියේ.‘ කපිතාන් ප්‍රාඩෝ සිය මතකය අවදි කෙළේය.

රාත්‍රියේ අවස්ථා අටකදි පමණ මා චේ සමඟ කතා කරන්න උත්සාහ ගත්තා. ඒ මොහොතේ උදාවී ඇති තත්ත්වය ගැන අවබෝධ කැරගන්නයි අපි උත්සාහ කෙළේ. අපි දෙදෙනාම කියුබානු විප්ලවය ගැන කතා කළා.‘

‘ඔබ අමෙරිකාවෙන් පුහුණුව ලැබූ කෙනෙක්…‘ චේ හදිසියේම එසේ කීවා.

‘ඔබ රුසියාවෙන් පුහුණුව ලැබූ කෙනෙක්.. ‘ මා කියා සිටියා.

පසුදින උදෑසන අටවැනි සේනංකයේ අණදෙන නිලධාරී කර්නල් සෙන්ටිනෝ හෙලිකොප්ටරයකින් එහි පැමිණියා. මා ඔහුට චේ ඇතුළු සිරකරුවන් භාර දුන්නා. ඔහු සමඟ සී.අයි.ඒ නියෝජිත ෆීලික්ස් රොඩ්රිගස් පැමිණ සිටියා. එදින මා ලා හිගුවේරා ගම්මානයෙන් පිටව ගියේ තවත් ගරිල්ලා සටන්කාමීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකටයි. චේ මරා දමා ඇති බව මා දැනගත්තේ ආපසු පැමිණීමෙන් පසුවයි.‘කපිතාන් ප්‍රාඩෝ එසේ කීවේය. අත්අඩංගුවට පත්වී ඊළඟ දිනයේ අමෙරිකාවේ අවශ්‍යතාවට බොලීවියානු ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව හමුදා සෙබළකු වන මරියෝ ටෙරාන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මිනිසකු නොව සැබැවින්ම පුරාවෘත්තයකි. පීඩිත මිනිසුන් වෙනුවෙන් ජීවිතයම කැප කළ මේ උදාර මිනිසා වසර 39ක් වැනි කෙටි ජීවිත කාලයකදී මෙලොව හැර ගියද ඔහු අදටත් මිලියන ගණනක ජනතාවගේ හදවත් අතර ජීවමාන ය.

ෆවුස් මොහොමඩ්

Follow by Email
LinkedIn
Share
WhatsApp