
බංග්ලාදේශයේ ජනගහනයෙන් 81%කට වැඩි පිරිසක් දූෂණයට හා අල්ලසට යටවී ඇතැයි එරට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදු කළ ගෘහස්ථ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි Cyber World Press සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් තවදුරටත් Cyber World Press සඳහන් කරන්නේ, පසුගිය වසරේදී එම ආයතනය සිදු කළ ජාතික ගෘහස්ථ සමීක්ෂණයකින් එම තොරතුරු වාර්තා වී ඇති බවයි. සමීක්ෂණයට අදාළ කාලසීමාව ඇතුළත බංග්ලාදේශයේ සිදුවී ඇති අල්ලස් ගනුදෙනුවල මුළු වටිනාකම එරට මුදලින් ටකා බිලියන 126.33ක් බවට (ශ්‍රී ලංකා රුපියල් බිලියන 315ක් පමණ) ඇස්තමේන්තු කැර තිබේ. එය වසර 2024/25 මූල්‍ය වර්ෂයේ එරට සංශෝධිත ජාතික අයවැයෙන් 1.58%කට සහ දේපළ වෙළෙඳපොළ ඇතුළුව සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.23%කට සමාන මුදලක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
2024 නොවැම්බර් සිට 2025 ඔක්තෝබර් දක්වා කාලය ඇතුළතඑරට විවිධ පළාත්වල නිවාස 15,715ක් ආවරණය වන පරිදි සිදුකර ඇති ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සමීක්ෂණයේදී 81%කට වැඩි නිවැසියන්ගෙන් බහුතරය ප්‍රකාශ කැර ඇත්තේ අල්ලස් ලබාදීමකින් තොරව කිසිදු සේවාවක් ලබාගත නොහැකි බවයි. එමෙන්ම සමීක්ෂණයට ලක්වූවන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් දූෂණය පිළිබඳ පැමිණිල්ලක් සිදු කරන ආකාරය සම්බන්ධව දැනුවත් නොවන බව ද වාර්තා වේ. අල්ලස් ලබාදීමට සිදුවීම සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ 61%කට වැඩි පිරිසක් සඳහන් කැර ඇත්තේ දූෂණය යනු රාජ්‍ය සේවා පද්ධතියේහිම කොටසක් ලෙස සැලකෙන බැවින් එසේ පැමිණිලි කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.
