
ලෝක මානව හිමිකම් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට අයත් සමාජ ක්රියාකාරිකයන් ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රාවලට ජාත්‍යන්තර මුහුදේ දී ඊශ්‍රායල හමුදා පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ග්ලෝබල් සුමුද් ෆ්ලෝටිලා ලෝක සංවිධානයට අයත් යාත්‍රා 50කට වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේ තුර්කියේ සිට ගාසා තීරය බලා ගමන් ආරම්භ කැර ඇති අතර, ඊයේ(18) ගාසා තීරයට සැතපුම් 50ක් දුරින් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල හමුදා පහරදීම්වලට ගොදුරු වී ඇත.
එහි සිටි සමාජ ක්රියාකාරිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සංවිධානය නිවේදනය කැර තිබේ. සයිප්‍රස් වෙරළට ඔබ්බෙන් මුහුදු සීමාවේ ගමන් කරමින් සිටි සිය සංවිධානයට අයත් යාත්‍රාවලට ඊශ්‍රායල හමුදාව බලහත්කාරයෙන් ගොඩ වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අණ නොතකා ගාසා තීරයට ගමන් කරමින් තිබූ එම යාත්‍රාවලින් අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක්රියාකාරිකයන් ඇෂ්හොඩ් වරාය වෙත රැගෙන ගිය බවට ඊශ්‍රායල හමුදාව තහවුරු කැර ඇත.
ඊශ්‍රායල යුද නෞකා 4ක් එම මෙහෙයුමට එක්වූ බව ද නිවේදනය කැර ඇත. ගාසා තීරය බලා යන සියලු යාත්‍රා අත්අඩංගුවට ගන්නා බවත්, එම මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බවත් ඊශ්‍රායල හමුදාව සඳහන් කැර තිබේ. මේ අතර ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන යාත්‍රා සංවිධාන කළ ග්ලෝබල් සුමුද් ෆ්ලෝටිලා සංවිධානය නිවේදනය කැර ඇත්තේ ඊශ්‍රායල හමුදාව නීති විරෝධි මුහුදු කොල්ලකෑමක නිරතව සිටින බවයි. නීත්‍යනුකුල සහ අවිහිංසාවාදී මානුෂීය මෙහෙයුම සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් කැර තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව පිහිටුවනු ලැබූ එම සංවිධානයේ මූලිකත්වයෙන් ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය යාත්‍රා සිය ගණනාවකට මීට පෙර අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායලය හමුදාවේ බාධා කිරීම්වලට ලක්ව ඇත.( දිනමිණ ඇසුරෙන්)
