
සාමය සඳහා වන ගිවිසුමකට එළැඹීම සඳහා ලබා දුන් කාලය අවසන් වෙමින් පවතින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, පාකිස්තාන මැදිහත්කරුවන් හරහා ඉරානය අඛණ්ඩව අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කැර තිබේ.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කැර ඇත්තේ පාකිස්තානය හරහා අමෙරිකාව සහ ඉරානය අතර මෑතකාලීන සාම යෝජනාවලිය සම්බන්ධව දිගින් දිගටම අදහස් හුවමාරු වෙමින් පවතින බවයි.

පාකිස්තාන රජය හරහා ඉදිරිපත් කළ කරුණු 14කින් සමන්විත යෝජනාවලිය අමෙරිකාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එහි සංශෝධන කිහිපයක් සිදු කිරීමෙන් පසු නැවත එම යෝජනාවලිය අමෙරිකාවට ඉදිරිපත් කැර ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාධ්‍ය හමුවේදී සඳහන් කැර තිබේ.
වෙළෙඳ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉරානය සහ ඕමානය විශේෂ යන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡා පවත්වා ඇතැයි ද, ජාත්‍යන්තර රාමුවට අනුකූලව යුරේනියම් නිස්සාරණය කිරීම සඳහා ඉරානයට ඇති අයිතිය ගැන එම යෝජනාවලිය තුළ පැහැදිලිවම කරුණු දක්වා ඇතැයි ද ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කැර තිබේ. කලාපයේ සාමයට සහ ආරක්ෂාවට විදේශීය රටවලින් බලපෑම් එල්ල වන බව මැදපෙරදිග රටවල් පිළිගත යුතු බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම කලාපයේ සාමයට අනතුරුදායක බවත් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
මැදපෙරදිග රටවල් අතර කලාපීය ආරක්ෂක රාමුවක් සඳහා එකඟතාවට පැමිණිය යුතු බවද ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළ බව අල් ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් Cyber World Press සඳහන් කරයි.
