Impartial news reporting for a stronger democratic society
සිංගප්පූරුවේදී කොළඹ වරාය නගර ගැන ආයෝජක හමුවක්

කොළඹ වරාය නගරය (PCC) තුළ පවතින ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා ආයෝජකයන්, ව්‍යාපාරික නායකයන්, තාක්ෂණික සමාගම් සහ වෙනත් ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ හමුවක්  පසුගිය දා(20)  සිංගප්පූරුවේ ‘Hive Carpenter’ හිදී පැවැත්විණි .සේවා අපනයනය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ පළමු විශේෂ ආර්ථික කලාපය (SEZ) ලෙස කොළඹ වරාය නගරය සතු විභවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, විශේෂයෙන්ම සිංගප්පූරුව පදනම් කැරගත් තාක්ෂණික සහ තොරතුරු තාක්ෂණ (IT) සමාගම් සඳහා පවතින අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී.

විදේශීය ආයෝජකයින් සඳහා ලබා දෙන දිරිගැන්වීම්, තොරතුරු තාක්ෂණ සේවා, මෘදුකාංග සංවර්ධනය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (BPO) ක්ෂේත්‍රවල පවතින අවස්ථා මෙන්ම, ශ්‍රී ලංකාව සතු දක්ෂ ශ්‍රම බලකාය සහ තරඟකාරී මෙහෙයුම් පිරිවැය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික තාක්ෂණික වෘත්තිකයන්ගේ එකතුවක් වන ‘ශ්‍රී ලංකා-සිංගප්පූරු තාක්ෂණික විධායක කමිටුව’ (SLSTE) සහ කොළඹ වරාය නගරය (PCC) විසින්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

SLSTE හි සභාපති මහේෂ් කවින්ද මහතාගේ ආරම්භක දේශනයෙන් වැඩසටහන ආරම්භ වූ අතර, ඉන් අනතුරුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා විසින් පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.

කොළඹ වරාය නගරය නියෝජනය කරමින්, එහි ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු නුවන් ජයවර්ධන මහතා සහ කර්මාන්ත ප්‍රවර්ධන හා ආයෝජන ජ්‍යෙෂ්ඨ කළමනාකරු කසුන් බඩතුරුගේ මහතා විසින්, වරාය නගරයේ දැනට සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු, එහි ආයෝජන රාමුව සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට පවතින අවස්ථා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ඉන්පසු පැවති ප්‍රශ්නෝත්තර සැසියේදී, සහභාගිවන්නන්ට නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කැර ගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව ලැබුණි.

සමාප්ති දේශනය සිදු කළ CHEC Port City Colombo (Pvt) Ltd. හි සහකාර කළමනාකාර අධ්‍යක්ෂ බායි ෂියාපිං (Bai Xiaping) මහත්මිය, ආයෝජන ගමනාන්තයක් ලෙස කොළඹ වරාය නගරය සතු විභවය අවධාරණය කළ අතර, සිංගප්පූරුව පදනම් කරගත් ආයෝජකයන්ට සහ ව්‍යාපාරවලට එහි පවතින අවස්ථා ගවේෂණය කරන ලෙස දිරිගැන්වූවාය. මෙම සංවාද මණ්ඩපය, සහභාගිවන්නන්ට අදහස් හුවමාරු කැර ගැනීමටත්, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජන සහ සහයෝගීතාව සඳහා පවතින විභව අවස්ථා ගවේෂණය කිරීමටත් ඉඩ සලසමින්, අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කැර ගැනීමේ සැසියක අවසන් විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp