Impartial news reporting for a stronger democratic society
සෑම පැයකදීම කාන්තාවන් 5 ක් සමීපතමයන් අතින් ඝාතනය වෙයි – 2025 UNODC සහ UN Women වාර්තා හෙළි කරයි

2025 වසරේ දී කාන්තාවන් සහ දැරියන් 47,000ක් සමීප සහකරුවකු හෝ පවුලේ සාමාජිකයකු අතින් ඝාතනයට ලක්ව ඇති බවත්, එය සමස්ත ස්ත්‍රී ඝාතන 78,000න් 60%ක් වන බවත්, පැයකට කාන්තාවන් 5 දෙනකු හෝ දිනකට 129 දෙනෙකු ඝාතනය වන අනුපාතයක් දැකිය හැකි බව UNODC සහ UN Women නිකුත් කළ නව වාර්තාවේ සඳහාන් වෙයි.

කාන්තාවන්ට වඩාත්ම අනාරක්ෂිත ස්ථානය තවමත් නිවෙස බව ‘2026 ස්ත්‍රී ඝාතන පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව’ පෙන්වා දෙයි. සමීපතමයන් අතින් සිදුවන ඝාතන අනුපාතය අප්‍රිකාවේ ඉහළම මට්ටමක (100,000කට 2.9ක්) පවතින අතර, අමෙරිකාව (1.4), ඕෂනියාව (1.1), ආසියාව (0.6) සහ යුරෝපය (0.5) පිළිවෙළින් ඊළඟ ස්ථානවල සිටී.

UNODC විධායක අධ්‍යක්ෂ මොනිකා ජූමා පැවසුවේ, හානිකර සමාජ ආකල්ප සහ ආයතනික අසාර්ථකත්වයන් නිසා මෙම ඝාතන සාමාන්‍යකරණය වී ඇති බවයි. එබැවින් වැළැක්වීමේ වැඩසටහන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ මැදිහත්වීම් ශක්තිමත් කළ යුතු බව ඇය අවධාරණය කළාය.

ස්ත්‍රී ඝාතන බොහෝවිට දීර්ඝකාලීන ප්‍රචණ්ඩත්වයක අවසාන ප්‍රතිඵලය වුවද, බොහෝ කාන්තාවන් බාධක හේතුවෙන් උපකාර පැතීමට මැලි වන අතර අපරාධකරුවන් නීතියෙන් ගැලවී යයි.

UN Women විධායක අධ්‍යක්ෂ සීමා බහූස් අවධාරණය කෙළේ, අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැරීම සහ වින්දිතයින්ට ආරක්ෂාව නොලැබීම මාරාන්තික විය හැකි බවයි. එබැවින් කාන්තාවන්ට ආරක්ෂිතව පැමිණිලි කිරීමට සහ වහාම සහය ලබා ගැනීමට හැකි වාතාවරණයක් සකස් කළ යුතුය.

සමස්ත මිනීමැරුම් අනුපාත අඩුවෙමින් පැවතියද, ස්ත්‍රී ඝාතන අඩුවීමේ වේගය ඉතා මන්දගාමීය. 2010–2025 අතර කාලයේ අමෙරිකාවේ සමස්ත මිනීමැරුම් අඩුවීමේ වේගය ස්ත්‍රී ඝාතන අඩුවීමේ වේගය මෙන් දෙගුණයකට ආසන්න වූ අතර, යුරෝපයේ එය 1.5 ගුණයකි.

නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක ’16 Days of Activism’ ව්‍යාපාරය හරහා UN Women සහ UNODC සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සහ අපරාධකරුවන්ට වගවීමට එක්ව ක්‍රියා කරන ලෙසයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp