
බංග්ලාදේශයේ ඇඟලුම් ක්ෂේත්රයේ සේවකයන්ට 36%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට යෝජනා වී ඇතැයි Cyber World Press ඩකා වාර්තාකරු සඳහාන් කරයි.
රටේ ආර්ථිකයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු කළ බවට ඇස්තමේන්තු කeර ඇති මාස ගණනාවක විරෝධතා ව්‍යාපාරවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
බංග්ලාදේශ රජය විසින් පත් කරන ලද ඇඟලුම් කර්මාන්ත වැටුප් මණ්ඩලයේ සභාපතිවරයා බදාදා ප්‍රකාශ කෙළේ, එම ක්ෂේත්රයේ අවම මාසික වැටුප ටකා 12,500 (ඇමරිකානු ඩොලර් 100) සිට ටකා 17,500 (ඇමරිකානු ඩොලර් 136) දක්වා ඉහළ නැංවීමට මණ්ඩලයේ “බහුතරයක්” එකඟ වූ බවයි.
බංග්ලාදේශ මහ බැංකුව විසින් ඇඟලුම් ක්ෂේත්රය හඳුන්වනු ලබන්නේ “රටේ අපනයන එන්ජිම” (export engine) ලෙසයි. වාර්ෂිකව ඩොලර් බිලියන 38ක පමණ ආදායමක් උපයා දෙන මෙම ක්ෂේත්රය, මිලියන හතරක ජනතාවකට රැකියා අවස්ථා සපයන අතර, රටේ සමස්ත අපනයනවලින් පහෙන් හතරක (4/5) ප්‍රමාණයක් නියෝජනය කරයි. මෙම කර්මාන්තයේ සේවය කරන බොහෝ දෙනෙක් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවෝ වෙති.
යෝජනා කැර ඇති ටකා 17,500ක වැටුප, විරෝධතාකරුවන් ඉල්ලා සිටි ටකා 30,000 (ඇමරිකානු ඩොලර් 240) ප්‍රමාණයට වඩා අඩු අගයකි. එබැවින්, මෙම යෝජිත වැටුප් වැඩිවීම ඔවුන් පිළිගනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.
මෙම අර්බුදය විසඳීම සඳහා පිහිටුවන ලද වැටුප් මණ්ඩලයේ කම්කරු නියෝජිතයකු වන බබුල් අක්තර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, “අපට සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවත්, ලැබී ඇති ප්‍රතිඵලය එතරම් නරකත් නැහැ,” යනුවෙනි. සේවකයන් නැවත තම කර්මාන්තශාලා වෙත පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
“මීට පෙර සෑම වසර පහකට වරක් වැටුප් සංශෝධනයක් සිදු කෙරුණද, මෙවර වසර තුනකට පසුව වැටුප් සංශෝධනයක් සිදු වී තිබෙනවා.”
මෙම වැටුප් වැඩිවීම දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, සේවකයන්ට ජනවාරි මාසයේදී නව වැටුප් ලැබෙනු ඇත.
ආර්ථික සාර්ථකත්වයක්
බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ගේ සංගමය (BGMEA) ඉරිදා ප්‍රකාශ කෙළේ, විරෝධතා හේතුවෙන් කර්මාන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 428ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත්, ඩොලර් මිලියන 254ක් වටිනා ඇණවුම් වෙනත් රටවලට මාරු වී ඇති බවත්ය.
චීනයට පසුව ලොව දෙවැනි විශාලතම ඇඟලුම් අපනයනකරු වන්නේ බංග්ලාදේශයයි. මිලියන 170ක ජනගහනයක් සිටින මෙම දකුණු ආසියානු රටේ සංවර්ධනය මෙහෙයවූ ප්‍රධාන සාධකයක් ලෙස, ඇඟලුම් කර්මාන්තය ආර්ථික සාර්ථකත්වයේ කතාවක් බවට පත්ව ඇත. එය ඇතැම් විට මිල අධික වී ඇත: 2013 දී රානා ප්ලාසා කර්මාන්තශාලා කඩා වැටීමෙන් පුද්ගලයන් 1,134 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබූ අතර, එමඟින් කර්මාන්තයේ මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ දුර්වල ආරක්ෂක ප්රමිතීන් සහ සේවා කොන්දේසි නිරාවරණය විය.
ගිනි ගැනීම් ඇතුළු තවත් බොහෝ සිදුවීම් හේතුවෙන් මරණ සිදුවී ඇත . සමහර විට දුසිම් ගණනක් මිය ගොස් ඇත.

(Al Jazeera – AFP and Cyber World Press )
